en banner

 DSC7409“කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම ඉටු කරමින් මීගමු කලපුව සුරක්ෂිත කරනවා; කලාකරුවන්ගේ පාරාදීසය යළිත් සංචාරක ආකර්ෂණයක් බවට පත් කරනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්”

"ටින් මාළු ආනයනය 97.5%කින් අඩු කර, අපනයන ආදායම ඩොලර් මිලියන 300කින් ඉහළට ඔසවා තැබුවා; ධීවර කර්මාන්තය දැන් නිවැරදි දිශානතියට - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ”

ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට ද ඉමහත් වැදගත්කමක් උසුලන මීගමු කලපුව සංරක්ෂණය කිරීම සහ එහි ස්වභාවික සුන්දරත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, රුපියල් මිලියන 318.49 ක වියදමින් නව ජැටියක් සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයක් ඉදිකිරීමේ කටයුතු අද (17) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, මීට මාස දෙකකට පෙර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමක් ඉටු කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව සිහිපත් කළේය. "මීගමු කලපුව කලාකරුවන්ගේ, සාහිත්‍යධරයන්ගේ නිර්මාණවලට වස්තු බීජ වූ සුන්දර තැනක්. නමුත් අවිධිමත් ලෙස බෝට්ටු නවතා තැබීම නිසා එහි සුන්දරත්වයට හානි වී තිබෙනවා. මෙම නව ජැටිය ඉදිකිරීමත් සමඟ බෝට්ටු විධිමත් ලෙස ගාල් කිරීමට අවස්ථාව ලැබෙනවා. එය ධීවර ජනතාවට වගේම සංචාරක කර්මාන්තයටත් විශාල පිටිවහලක් වේවි," යැයි අමාත්‍යවරයා පැවසීය.

දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරමින්, තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ජනතාවට සමීපව කටයුතු කරන බවත්, මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් රටේ සංවර්ධනයට යොදවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, මීගමු කලපුව දීර්ඝ කාලයක් තිස්සේ පරිසර දූෂණයට ලක්ව ඇති බවයි. "කර්මාන්තශාලා අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කලපුව විනාශ වෙමින් පවතිනවා. මේ තත්ත්වය පාලනය කිරීමට කලපු සංවර්ධන අධිකාරියක් පිහිටුවීමේ යෝජනාව අපි මීට පෙර ඉදිරිපත් කළා” යැයි ඒ මහතා පැවසීය.

රජයේ නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය 13% කින් අඩු කර ගැනීමටත්, ටින් මාළු ආනයනය 97.5% කින් අඩු කර ගැනීමටත් හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ධීවර අපනයන ආදායම ඩොලර් මිලියන 300 කින් ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මාස 12 ක් ඇතුළත නිම කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, මීගමු නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ධීවර කාර්මිකයින් රැසක් සහභාගී වූහ.

 DSC7411

 DSC7417

 DSC7459

 DSC7516

 DSC7480 1

 DSC7494

 DSC7453

නවතම පුවත්

Youtube