කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 14 වන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (ජූලි 16) දහවල් මඩකලපුව පැරණි දිසාපති කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.
මඩකලපුව දිසාපතිතුමිය විසින් ඉතා සාර්ථකව සංවිධානය කර තිබූ මෙම රැස්වීම සඳහා, දිසාපතිතුමිය සමඟ අතිරේක දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ද සහභාගී වූහ. දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනතා නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හඳුනාගත් ප්‍රධාන ගැටලු සහ විසඳුම් :
රැස්වීමේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන ගැටලු කිහිපයක් සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ කරුණු :
වාලච්චේන ධීවර වරාය පුළුල් කිරීමේ අවශ්‍යතාව: දැනට යාත්‍රා 200-300කට පමණක් පහසුකම් සලසා ඇති වාලච්චේන ධීවර වරායේ ජැටිය පුළුල් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පෙන්වා දෙන ලදී. මෙම ප්‍රදේශයට ඇති එකම ධීවර වරාය මෙය වන බැවින්, බහුදින ධීවර යාත්‍රා 500-600ක් සඳහා පහසුකම් සැලසීමට වරාය පුළුල් කිරීමේ වැදගත්කම ධීවර ප්‍රජාව විසින් අවධාරණය කරන ලදී.
නීතිවිරෝධී ධීවර කටයුතු සහ මත්ස්‍ය අස්වනු සොරකම්: නීතිවිරෝධී ධීවර කටයුතු සහ මත්ස්‍ය අස්වනු සොරකම් කිරීම් පිළිබඳව අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, නාවික හමුදාව, පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, එමගින් මත්ස්‍ය අස්වනු සොරකම් කිරීම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවට සහකාර අධ්‍යක්ෂවරුන් විසින් තහවුරු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මිරිදිය ධීවරයන්ගේ ප්‍රවාහන ගැටලු: මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට වනජීවී සහ ජාතික වනෝද්‍යාන හරහා ගමන් කිරීමේදී පැන නගින ප්‍රවාහන ගැටලු සාකච්ඡා විය. ධීවරයින් ඉල්ලා සිටියේ තම මෝටර් සයිකල් ඇතුළු ප්‍රවාහන පහසුකම් භාවිත කිරීමට අවසර ලබා දෙන ලෙසයි.
පාරිසරික සංරක්ෂණය සහ නීති රීති පිළිපැදීම: මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ධීවර නියෝජ්‍ය අමාත්‍යතුමා, පරිසර සංරක්ෂණයේ සහ වනජීවීන් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් සියලු නීති රීති සහ රෙගුලාසිවලට යටත්ව, ඒවා උල්ලංඝනය නොකර ක්‍රියා කළ යුතු බවට ඔහු ඉල්ලා සිටියේය.
අමාත්‍යවරුන් විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙලවල් කිහිපයක් ද මෙහිදී සඳහන් කරන ලදී:
- කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ජලාශවලට කඩිනමින් මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමට පියවර ගැනීම.
- ධීවර ජනතාවට අවශ්‍ය මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම.
මෙම සාකච්ඡාවට රාජ්‍ය ආයතන හා ධීවර ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ආයතන රැසක නියෝජිතයෝ සහභාගී වූහ. නාවික හමුදාව, පොලීසිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ රාජ්‍ය අංශවල නිලධාරීන් ද, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ධීවර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මඩකලපුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද ඊට එක් වූහ. ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති, ධීවර සංස්ථාවේ සභාපති, නැක්ඩා සහ නාරා ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මේ සඳහා සහභාගී වූ අතර, ධීවර සංවිධාන රැසක නියෝජිතයින්ගේ සක්‍රීය දායකත්වය ද මෙහිදී කැපී පෙනුණි.