ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින (2025 ජූනි 20) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.
ධීවර කර්මාන්තයේ විවිධ අංශ නියෝජනය කරමින් බහුදින සහ එක්දින ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයින්, මාදැල් කර්මාන්තයේ නියුතු ධීවරයින්, ජලජීවී වගාකරුවන් සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියුතු පිරිස් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයකි.
රැස්වීමේදී, ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී:
අස්වනු නෙළීමෙන් පසු සිදුවන හානිය සහ අස්වනු අඩුවීම: ධීවර අස්වනු නෙළීමෙන් පසු සිදුවන හානිය අධික බවත්, සමස්ත ධීවර අස්වැන්න අඩු වී ඇති බවත්, ඒ හේතුවෙන් මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බවත් අවධාරණය විය. මේ සඳහා මව් යාත්‍රා (mother vessels) හෝ මත්ස්‍ය සැකසුම් යාත්‍රා (processing vessels) හඳුන්වා දීමේ යෝජනා පිළිබඳව සාකච්ඡා විය.
බේරුවල ධීවර වරායේ ගැටලු:
අපද්‍රව්‍ය බැහැර කිරීම: වරාය තුළ අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගැනිණි. වරාය පිරිසිදුව තබා ගැනීම ධීවර ප්‍රජාවේම යුතුකම හා වගකීම බව නියෝජ්‍ය අමාත්‍යතුමා අවධාරණය කළේය.
දැවි තෙල් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය: යාත්‍රා පිරිසිදු කිරීමේදී දැවි තෙල්, පොලිතින් සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය වරාය ද්‍රෝණියට මුදා හැරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී දැනුවත් කිරීම්වලින් පාලනය කළ නොහැකි නම් දඩ ක්‍රමයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසීය.
නැංගුරම් පහසුකම්: දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා නොකරන ධීවර බෝට්ටු වරාය තුළ රඳවා තබා ගැනීම නිසා නැංගුරම් පහසුකම් ප්‍රමාණවත් නොවන බව අනාවරණය විය. එවැනි යාත්‍රා ඉවත් කිරීමට කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.
ආලෝක පහසුකම් සහ බීකන් ලාම්පු: ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට මුහුදේදී දිශාව සලකුණු කර ගැනීමට අවශ්‍ය බීකන් පහන් නොමැති වීම සහ සමහර ස්ථානවල ප්‍රමාණවත් ආලෝක පහසුකම් නොමැති වීම ගැටලුවක් විය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. මාකස් මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විටත් මිල ගණන් කැඳවා ඇති බවත්, මාස කිහිපයක් ඇතුළත එම අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කරන බවත්ය.
ක්‍රියා විරහිත ධීවර සංවිධාන: කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ධීවර සමිති අක්‍රියව පවතින බව පෙන්වා දෙන ලදී. නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් ධීවර සම්මේලනය භාර නිලධාරියාට, කළුතර දිස්ත්‍රික්කයේ අක්‍රියව පවතින ධීවර සංවිධාන නැවත සක්‍රීය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. එම සංවිධාන සක්‍රීය කිරීමෙන් ධීවර ප්‍රජාවේ අවශ්‍යතා සලකා බලා, රටේ සංවර්ධන කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය සහ සහභාගීත්වය ලබා ගැනීමට හැකි බව අවධාරණය විය.
"පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" යන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු ජනතාවගේ සහභාගීත්වය වැදගත් බවත්, නිෂ්පාදන ආර්ථිකය ඉහළ නංවා එහි ප්‍රතිලාභ සමසේ බෙදා හැරීම නව රජයේ ප්‍රතිපත්තිය බවත් නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේම සහභාගීත්වය, සහයෝගය සහ කැපවීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.
මෙම ධීවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සයවන රැස්වීම වන අතර ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට පසුව කළුතර දිස්ත්‍රික්කයේ රැස්වීම පැවැත්විණි. මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සෑම මාස තුනකට වරක්ම පැවැත්වීමට එකඟතාව පළ විය. ඉදිරි රැස්වීම්වලට සති දෙකකට පෙර තම ගැටලු ඉදිරිපත් කරන ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර, අද සාකච්ඡා කළ ගැටලු වල ප්‍රගතිය විමසා බලා, අලුත් ගැටලු සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම රැස්වීම සඳහා කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා, කළුතර, පානදුර සහ බේරුවල යන ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් රැසක් සහභාගී විය. ඊට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ධීවර වරාය නීතිගත සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, සහ සිනෝර් (CEY-NOR) වැනි ධීවර අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන් මෙන්ම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂක කොට්ඨාස නවයේම නිලධාරීන් ද මේ සඳහා සහභාගී වී සිටියහ.