26 August 2026
”දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මත්ස්‍ය වගාකරුවන් සඳහා මූල්‍ය ආධාර
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් සංවිධානය කරන ලද, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මත්ස්‍ය වගාකරුවන් සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප්‍රධානය කිරීමේ උත්සවය ඊයේ (24.08.2026) මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. අරුල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතා සහභාගී වී ප්‍රතිලාභීන් වෙත චෙක්පත් ප්‍රධානය කළේය.
මෙහිදී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රතිලාභීන් 31 දෙනෙකු සඳහා රුපියල් මිලියන 14.25 ක පමණ මූල්‍ය ආධාර චෙක්පත් ද, වැව්වල මත්ස්‍ය පැටවුන් බෝ කිරීමේ කටයුතුවල නිරත සංගම් 5 ක් සඳහා රුපියල් මිලියන 1.75 ක වටිනාකමින් යුත් චෙක්පත් ද ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක එස්. එම්. ඒ. නසාර්, දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී ජේ. නෙල්සන් ඇතුළු ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.











