en banner

 1x 1ශ්‍රී ලංකාවේ ඉස්සන් අපනයන කර්මාන්තය මුහුණ දුන් අභියෝග රැසකට විසඳුම් ලබා දෙමින්, ඉස්සන් ප්‍රති අපනයනය සඳහා නව සහ විස්තීර්ණ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedure - SOP) ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන ඉස්සන් අපනයන අංශය තවදුරටත් ශක්තිමත් කිරීමට අරමුණු කරයි.

විදේශ වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ ඉස්සන් සඳහා විශාල ඉල්ලුමක් පැවතුනද, මෑතකදී දේශීය පරිභෝජනය ඉහළ යාම (විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමග) සහ දේශීය නිෂ්පාදනයේ යම් අඩුවීමක් වාර්තා විය. මෙම තත්ත්වය හමුවේ, අපනයන ඉල්ලුම පවත්වා ගැනීම සඳහා පසුගිය වසර කිහිපය තුළ විදේශීය ඉස්සන් ආනයනය කර, අගය එකතු කර නැවත ප්‍රති අපනයනය කිරීමට රජය විසින් අවසර ලබා දී තිබුණි.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය දේශීය ඉස්සන් වගාකරුවන් අතර විවිධ ගැටලු සහ බිය ඇති කළේය. විදේශීය ඉස්සන් දේශීය වෙළඳපොළට එකතු වුවහොත් තම ඉල්ලුමට බලපෑම් එල්ල වේය යන බිය මෙන්ම, රෝග බෝවීමේ අවදානම සහ සමහර රටවල පවතින අපනයන සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාමට ගැටලු ඇතිවිය හැකි බවට ද ඔවුන් අදහස් පළ කළහ. තවද, විදේශීයව ගෙන්වන ලද ඉස්සන් "ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්" ලෙස පිටරට යැවීම සුදුසු නොවන බවට ද අදහසක් විය.

මෙම සියලු කරුණු සලකා බලා, අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කර, අදාළ රාජ්‍ය ආයතන (ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව) මෙන්ම, ජලජීවී වගා සන්ධානයේ සාමාජිකයන් සහ අපනයනකරුවන් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම නව SOP එක සකස් කරන ලදී.

නව සම්මත මෙහෙයුම් පටිපාටියේ ප්‍රධාන අංග:

ආනයන සීමා: ප්‍රති අපනයනය සඳහා ආනයනය කළ හැක්කේ අධිශීත කළ හිස රහිත ඉස්සන් පමණි.

මූලාශ්‍ර රට පිළිබඳ නිර්දේශ: වාණිජ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගෙන, වෙළඳාමට ගැටලු හෝ සීමා සහිත රටවලින් ඉස්සන් ආනයනය කිරීම වළක්වයි.

දේශීය නිෂ්පාදන ඇගයීම: ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ඉස්සන් ගොවිපළ දත්ත සහ ඉදිරි මාස තුනක නිෂ්පාදන තොරතුරු ඇගයීමෙන් පසු පමණක් ආනයන නිර්දේශ ලබා දේ.

සෞඛ්‍ය හා ප්‍රතිජීවක සහතික: රෝග බෝවීමේ අවදානම අවම කිරීම සඳහා ගෙන්වන රටෙන් අදාළ බලධාරීන්ගේ සෞඛ්‍ය හා ප්‍රතිජීවක සහතික අනිවාර්ය වේ.

අගය එකතු කිරීම: ආනයනය කරන ලද ඉස්සන් තොගයෙන් අවම වශයෙන් 25%ක අගය එකතු කිරීමක් ශ්‍රී ලංකාව තුළ සිදු විය යුතු අතර, එමගින් දේශීය රැකියා අවස්ථා සහ වටිනාකම ඉහළ යනු ඇත.

නිවැරදි ලේබල්කරණය: ප්‍රති අපනයනය කරන ඉස්සන් "වෙනත් රටක නිපදවන ලද හා ශ්‍රී ලංකාවේ සකසන ලද ඉස්සන්" (Other Origin Shrimp, Processed in Sri Lanka) ලෙස පැහැදිලිව සඳහන් කළ යුතු අතර, ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කළ නොහැක.

මිශ්‍ර කිරීම තහනම්: සැකසුම් ක්‍රියාවලියේදී දේශීය ඉස්සන් සමඟ විදේශීය ඉස්සන් මිශ්‍ර කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.

ගබඩාකරණ සීමා: ගබඩාකරණ සහ සැකසුම් ස්ථාන දේශීය ඉස්සන් ගොවිපළ ආශ්‍රිතව පිහිටුවිය නොහැක.

පරිසර රෙගුලාසි: අපජලය සහ අපද්‍රව්‍ය මුදාහැරීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.

අපනයන අනුපාතය: ආනයනය කරන ලද ඉස්සන් ප්‍රමාණයෙන් 75%ක් අනිවාර්යයෙන්ම නැවත ප්‍රති අපනයනය කළ යුතු අතර, මෙම කොන්දේසිය සපුරන සමාගම්වලට පමණක් ඉදිරියේදී නැවත ආනයන අවසර ලබා දේ.

මෙම නව සම්මත මෙහෙයුම් පටිපාටිය තුළින් ක්ෂේත්‍රයේ පැවති සියලු අන්‍යෝන්‍ය බිය සහ ගැටලු නිරාකරණය කර, ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තයට තිරසාර සහ දීප්තිමත් අනාගතයක් උදාකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳව අතිරේක ලේකම් (ධීවර සම්පත් කළමනාකරණ) ධම්මික රණතුංග මහතා විසින් පැහැදිලි කරන ලද වීඩියෝව පහත සබැඳියෙන් බාගත කර ගත හැකිය

Youtube