en banner

 DSC1714'ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය තහවුරු කිරීම අපගේ වගකීමයි' - අමාත්‍යවරයාගෙන් අවධාරණයක්"

උතුරු සහ නැගෙනහිර පළාත්වල සමුද්‍රීය සම්පත් විනාශ කරමින් සහ නීත්‍යානුකූල ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට දැඩි තර්ජනයක් එල්ල කරමින් පවතින නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ඒකාබද්ධ ක්‍රියාන්විත යාන්ත්‍රණයක් සැකසීමේ අරමුණින්, ඉහළ මට්ටමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම හමුව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ සම-සභාපතීත්වයෙන් පැවති අතර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන්, ජාතික බුද්ධි ප්‍රධානී, නැගෙනහිර සහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජිතයින්, නැගෙනහිර සහ උතුරු නාවික විධානයන් භාර ආඥාපතිවරුන් (මාර්ගගත ක්‍රමය ඔස්සේ) සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන්, උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් මඩකලපුව, යාපනය, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරු ද ඊට එක්ව සිටියහ.

සාකච්ඡාව ආරම්භයේදීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි මෙහෙයුම් පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

මෙහිදී පුල්මුඩේ, කෝකිලායි, මුලතිව් සහ යාපනයේ වඩමාරච්චි බටහිර වැනි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්, සුළු පිරිසක් විසින් සිදු කරනු ලබන ඩයිනමයිට් භාවිතය, තහනම් පන්න ක්‍රම සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ආක්‍රමණ වැනි නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා වන උපායමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී අදාළ දිස්ත්‍රික්කවල සහකාර අධ්‍යක්ෂවරුන් විසින් තම ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය: "නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන සුළු පිරිසක් නිසා, දහස් ගණනක් නීත්‍යානුකූල ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ වී තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට, නාවික හමුදාව, පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව, ඉලක්කගත ප්‍රදේශවල ඒකාබද්ධ මාර්ග බාධක සහ විශේෂ මෙහෙයුම් දියත් කළ යුතුයි. ඊට සමගාමීව, අදාළ නීති රීති සහ නීතිවිරෝධී ධීවර කටයුතුවලින් සිදුවන හානිය පිළිබඳව පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනවා. අපේ අරමුණ දඬුවම් දීම පමණක් නොව, නීත්‍යානුකූල ධීවර ප්‍රජාව ආරක්ෂා කර, ඔවුන්ගේ ජීවනෝපාය තහවුරු කිරීමයි."

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, "මෙය ජාතික ආරක්ෂාවට ද බලපාන බරපතල ප්‍රශ්නයක්. නාවික හමුදාව, පොලීසිය සහ ධීවර අමාත්‍යාංශය අතර මනා සම්බන්ධීකරණයකින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙනවා" යැයි අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවේදී, ට්‍රැක්ටර් යොදා මාදැල් ඇදීම සම්බන්ධයෙන් මීට පෙර ගන්නා ලද තීරණයක් පිළිබඳව ද අවධානය යොමු විය. ඒ අනුව, ලබන ජනවාරි මස 01 වනදා සිට මාදැල් ඇදීම සඳහා ට්‍රැක්ටර් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය, දැඩිව ක්‍රියාත්මක කිරීමට මෙහිදී නැවත එකඟතාව පළ විය. අමාත්‍යතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇති අතර, ප්‍රමාණවත් සහන කාලයක් ලබා දෙමින්, ඒ පිළිබඳව සියලුම මාදැල් හිමියන් ලිඛිතව දැනුවත් කර ඇති බවද මෙහිදී සිහිපත් කෙරිණි

 DSC1691

 DSC1671

 DSC1688

 DSC1670

 DSC1750

Youtube