30 July 2026
දිවයින වටා මුහුදු තීරය අතිශය රළු වෙයි: ධීවරයන්ට රතු නිවේදනයක් සහ දැඩි ආරක්ෂක විධිවිධාන – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ රළු ස්වභාවය ඉහළ ගොස් ඇති බැවින්, ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආරක්ෂක උපදෙස් මාලාවක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ අවධාරණය කළේය:

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු කලාපයේත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු කලාපයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළ කර ඇත. මේ හේතුවෙන් වෙරළාසන්නව රැකියාවේ නිරත වන කුඩා ධීවර යාත්‍රා සහ සාම්ප්‍රදායික යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ. දැනටමත් මුහුදු ගොස් සිටින යාත්‍රා ඇත්නම් වහාම ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබේ.

ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳීම සහ තාක්ෂණික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම:
ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේ සිට, මුහුදේ රැකියාවේ නිරත වන කාලය සහ නැවත ගොඩබිමට පැමිණෙන තෙක් සම්පූර්ණ කාලය පුරාවටම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය වන අතර, මෑතකාලීනව මුහුදේදී සිදුවන අනතුරු බොහොමයකට යාත්‍රාවල පවතින තාක්ෂණික දෝෂ හේතු වී ඇති බැවින්, ගමන ආරම්භ කිරීමට පෙර යාත්‍රාවේ එන්ජිම, යාන්ත්‍රික පද්ධති සහ ප්‍රමාණවත් ඉන්ධන පවතීද යන්න මනාව පරීක්ෂා කර තාක්ෂණිකව අවශ්‍යතා සම්පූර්ණ යාත්‍රා පමණක් මුහුදු යැවීමට යාත්‍රා හිමිකරුවන් වගබලා ගත යුතුය.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල (කල්පිටිය සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා) රැකියාවේ නියුතු ධීවරයින් ද පවතින රළ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කර ආරක්ෂිත බව තහවුරු නම් පමණක් රැකියාවේ නිරත විය යුතුය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව මඟින් වරින් වර නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ඕනෑම හදිසි තත්ත්වයකදී වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Share

Latest News