24 July 2026
ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ශක්තිමත් කිරීමට දකුණු කොරියාවෙන් රුපියල් බිලියන 5කට අධික (ඩොලර් මිලියන 16.6) ව්‍යාපෘති දෙකක් - සාකච්ඡා සාර්ථකව නිම කෙරේ.
ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ වෙරළබඩ ආපදා කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත දැවැන්ත ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය 21 වනදා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
දකුණු කොරියානු රජයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ “නීල ආර්ථික දැක්ම 2030” (Blue Economy Vision 2030) සාක්ෂාත් කර ගැනීම සහ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාගර කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය 6% දක්වා ඉහළ නැංවීම අරමුණු කෙරේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති දෙකක් කෙරෙහි අවධානය යොමු විය:
1. වෙරළබඩ ආපදා පුරෝකථන හා ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවීම (PCP):
කෘතිම බුද්ධිය (AI) සහ තොරතුරු තාක්ෂණය (ICT) භාවිතා කරමින් වෙරළබඩ ආපදා කල්තියා හඳුනාගෙන ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලබයි. ඇමරිකානු ඩොලර් මිලියන 6.6ක (රුපියල් බිලියන 2කට අධික) ප්‍රතිපාදන මත වසර 4ක කාලයක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක වේ.
2. සාගර අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම (PCP):
සාගර පරිසරයට දැඩි තර්ජනයක් වී ඇති ප්ලාස්ටික් හා රසායනික අපද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අධි-විභේදන චන්ද්‍රිකා තාක්ෂණය සහ දුරස්ථව පාලනය කළ හැකි යාත්‍රා (ROV) භාවිතා කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි. ඇමරිකානු ඩොලර් මිලියන 10ක (රුපියල් බිලියන 3කට අධික) ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය වසර 5ක් පුරා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමග එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සාකච්ඡාව මෙහෙයවූ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සඳහන් කළේ, මෙරට ජනගහනයෙන් 25%ක් ජීවත් වන වෙරළබඩ කලාපයේ ආර්ථිකය නංවාලීමටත්, සංචාරක හා ධීවර කර්මාන්තයට සාගර අපද්‍රව්‍යවලින් සිදුවන හානිය අවම කිරීමටත් මෙම තාක්ෂණික හුවමාරුව ඉතා වැදගත් වන බවයි.
මෙම අවස්ථාව සඳහා දකුණු කොරියාව නියෝජනය කරමින් කොරියානු වෙරළ කළමනාකරණ සංගමයේ (KCMA) අධ්යක්ෂ ආචාර්ය ක්වන්-සුන් පාර්ක් (Dr. Kwang-Soon Park), සාමකාමී ඒකාබද්ධතා උපදේශක සභාවේ නිරිතදිග ආසියානු ශාඛාවේ උප සභාපති හොංකියු ක්වක් (Hongkyu Kwak) සහ Mirae Saeum ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හ්යුන් යොන්ග් කිම් (Hyun Yeong Kim) යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.
Share







