Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
07 August 2026
මුහුද රළු වීම නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතු සඳහා තහනමක්: සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළට - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (2026/08/07) පෙරවරු 10.00 ට නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින අතිශය රළු ස්වභාවය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි.

අදාළ නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ කල්පිටියේ සිට හලාවත, මීගමුව හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බැවින් එම ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත වේ.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස දැනුම් දෙනු ලැබේ.

එසේම, අවදානම් තත්ත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් වන යාත්‍රා ද, ඉහත නම් කරන ලද මාතර සිට පොතුවිල් දක්වා සහ කොළඹ සිට මීගමුව හරහා කල්පිටිය දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙස විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.