Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
10 August 2026
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා පනවා තිබූ ධීවර තහනම ඉවත් කෙරේ: එහෙත් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (2026/08/10) දහවල් නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැවති කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙම විශේෂ නිවේදනය නිකුත් කර සිටියි.

අදාළ නිවේදනයට අනුව, අද පෙරවරු 07.00 වන විට මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැවති දැඩි සුළං තත්ත්වය දහවල් 12.00 වන විට යම් තරමකට සමනය වී ඇත. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ මේ වන විට වෙරළාසන්න ධීවර කටයුතු සඳහා යෝග්‍ය මට්ටමකට පත්ව ඇති බව නිරීක්ෂණය වේ.

ඒ අනුව, එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස මීට පෙර පනවා තිබූ අවවාදාත්මක නිවේදනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කෙසේ වුවද, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා දැනට පවතින නිරිතදිග මෝසම් සුළං තත්ත්වය හේතුවෙන් ඕනෑම මොහොතක සුළඟේ වේගය යළි ඉහළ යාමේ හැකියාවක් පවතී. එලෙස සුළඟේ වේගය වැඩිවීමත් සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, ධීවර කටයුතුවල නිරත වන සෑම අවස්ථාවකදීම අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳ සිටිය යුතු බවත්, පවතින මුහුදු තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, බලධාරීන් ලබාදෙන ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.