en banner

Weather 1200px 22 10 20 1000x600 1දිවයිනේ ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය රළු විය හැකි බැවින්, ධීවර කටයුතුවල නිරත වීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත් සියලුම ධීවරයින් ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳීම අනිවාර්ය බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කර සිටියි.

අද (13) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තා අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. විශේෂයෙන්ම පුත්තලම, හලාවත සිට ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්ත කහවත්ත මහතා:

"දැනට පවතින තත්ත්වය අනුව අපි ධීවර කටයුතු සඳහා තහනමක් පනවන්නේ නැහැ. නමුත් වෙරළාසන්න මුහුදේ රැකියාවේ නියුතු කුඩා යාත්‍රා හිමිකරුවන් කාලගුණ වාර්තා පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි. මුහුද රළු ස්වභාවයක් ගන්නා බව නිරීක්ෂණය වන්නේ නම්, වහාම ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන ලෙස හෝ රැකියාවට යාමෙන් වළකින ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ධීවර කටයුතු සඳහා ගොඩබිමෙන් පිටත්වීමේ සිට, මුහුදේ රැකියාවේ නිරත වන කාලය සහ නැවත ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන තෙක් සම්පූර්ණ කාලය පුරාවටම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය බව අපි දැනුම් දෙනවා. බහුදින ධීවර යාත්‍රා සඳහා සුපුරුදු පරිදි වරායන්ගෙන් පිටත්වීමේ හා පැමිණීමේ හැකියාව පවතිනවා."

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව මගින් විටින් විට නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානය යොමු කර, තම ජීවිත හා දේපළ ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවට දැනුම් දී සිටියි.

Youtube