en banner

 DSC1239 copy.jpgමෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අපේ සංස්කෘතික අනන්‍යතාවය සහ ජාතික සහෝදරත්වය ලොවට විදහා දක්වන උතුම් අවස්ථාවකි. නිල් දියවර සමඟ පොරබදමින් ජාතික ආර්ථිකයේ සහ ආහාර සුරක්ෂිතතාවයේ පෙරගමන්කරුවන් වන අපේ ධීවර ප්‍රජාව වෙත මෙම සංක්‍රාන්ති සමය සැබෑ ලෙසම නැවුම් බලාපොරොත්තු රැගෙන එන කාල පරිච්ඡේදයක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ගත වූ කාලය අප සියලු දෙනාටම අතිශය අභියෝගාත්මක කාලයක් විය. විශේෂයෙන්ම 'Ditwa' සුළි කුණාටුව වැනි ස්වභාවික විපත් මෙන්ම ගෝලීය දේශපාලන අර්බුද හමුවේ උද්ගත වූ ඉන්ධන ගැටලුව ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළේය. එහෙත්, එම දුෂ්කරතා මධ්‍යයේ වුවද අපේ ධීවර ජනතාව පෙන්වූ නොසැලෙන ධෛර්යය සහ කැපවීම මම මහත් ගෞරවයෙන් අගය කරමි.

වත්මන් රජය සැමවිටම පෙනී සිටින්නේ ජනතාවගේ ජීවිතවලට සැබෑ වටිනාකමක් ලබා දීම වෙනුවෙනි. අතිගරු ජනාධිපතිතුමා විසින් 'අස්වැසුම' ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රකාශයට පත් කළ විශේෂ සහන පැකේජය සහ ධීවර ජනතාව වෙනුවෙන්ම ලබාදුන් විශේෂ ඉන්ධන දීමනාව, අපේ පාලනයේ මානුෂීය සහ වගකිවයුතු ස්වභාවය මනාව තහවුරු කරයි. කිමිදුම්කරුවන්ගේ සිට බහුදින යාත්‍රා හිමියන් දක්වා සමස්ත ක්ෂේත්‍රයම සුරක්ෂිත කිරීම අපේ අරමුණයි.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන උතුම් අරමුණ කරා යන ගමනේදී, ඔබගේ දෑත් ශක්තිමත් කිරීම මගේත්, අප රජයේත් මූලිකම වගකීමක් ලෙස මම සලකමි. සාම්ප්‍රදායික අවුරුදු උත්සව සැමරුම්වලින් ඔබ්බට ගොස්, එකම ජාතියක් ලෙස අත්වැල් බැඳගෙන රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම නව වසරේදී අපි අලුත් ජවයකින් පෙළගැසෙමු.

උදාවන මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබගේ පවුල්වල සියලු දෙනාටත්, සමස්ත රටවැසි ජනතාවටත් නිදුක් නීරෝගීභාවය, සාමය සහ සෞභාග්‍යය සපිරි ජයග්‍රාහී වසරක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනය කරමි!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

රත්න ගමගේ
නියෝජ්‍ය අමාත්‍ය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය
2026.04.10

Youtube