en banner

WhatsApp Image 2026 03 31 at 23.27.23 1ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Mr. Marc-André Franche) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

උතුරු පළාතේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ ධීවර ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විසින් කරුණු පැහැදිලි කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද එක්විය.

ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, මයිලිඩ්ඩි සහ ගුරුනගර් ධීවර වරාය ව්‍යාපෘති දෙක පිළිබඳව විශේෂයෙන් කරුණු පෙන්වා දුන්නේය. ඒ අනුව, 2025 සැප්තැම්බර් 01 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් වැඩ ආරම්භ කළ මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 298ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ මත්ස්‍ය අලෙවි ශාලා, නවීන ශීතාගාර, දැල් අලුත්වැඩියා කිරීමේ  මධ්‍යස්ථාන සහ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇතුළු ඉහළ යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. මීට අමතරව, ලෝක බැංකුවේ පළමු අදියරේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක සංවර්ධන අරමුදල යටතේ ක්‍රියාත්මක ගුරුනගර් ධීවර වරාය නවීකරණ ව්‍යාපෘතිය හරහා දහස් සංඛ්‍යාත ධීවර පවුල්වල ජීවනෝපාය සහ මත්ස්‍ය නිෂ්පාදන දාමය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මීට අමතරව උතුරේ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මුලතිව් නන්දිකඩාල් කලපුව හරහා රුපියල් බිලියන 1.4ක වියදමින් ඉදිකරන නව වඩ්ඩුවාකල් පාලම සහ දිස්ත්‍රික්ක පහක් ආවරණය වන "උතුරු පොල් ත්‍රිකෝණය" පිළිබඳව රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. කිවුල් ඔය ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, එහි මූලික අරමුණ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සුරක්ෂිත කිරීම බවත් සහතික කරන ලදී.

තවද, දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා උතුරේ පුරප්පාඩුව පවතින ඉඩම් උපයෝගී කරගනිමින් කාර්මික කලාප ව්‍යාප්ත කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී අතුරුදන් වූවන් පිළිබඳ ගැටලුව, ඉඩම් නිදහස් කිරීම සහ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳවද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

WhatsApp Image 2026 03 31 at 23.27.22 1

WhatsApp Image 2026 03 31 at 23.27.23

WhatsApp Image 2026 03 31 at 23.27.22 2

WhatsApp Image 2026 03 31 at 23.27.22

Youtube