උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර ප්‍රජාව මුහුණ දෙන යටිතල පහසුකම් ගැටලු විසඳීමේ තීරණාත්මක පියවරක් තබමින්, වාලච්චේන ධීවර වරාය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1127.5ක ප්‍රතිපාදනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කරයි.
ධීවර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර වරායන්හි පවතින ඌනතාවය ධීවර කර්මාන්තය නගා සිටුවීමට ඇති ප්‍රධාන බාධාවක් බවයි.
"නැගෙනහිර පළාතේ ධීවරයින් සඳහා ඉදිකළ ඔලුවිල් වරාය, අද වන විට වැලි ගොඩක් බවට පත්ව භාවිතයට ගත නොහැකි වීම නිසා, සමස්ත පළාතේම ධීවරයින්ට වාලච්චේන වරාය වෙත පැමිණීමට සිදුව තිබෙනවා. යාත්‍රා 300ක් සඳහා පමණක් පහසුකම් ඇති වාලච්චේන වරායට, යාත්‍රා 500ත් 800ත් අතර ප්‍රමාණයක් පැමිණීම නිසා දැඩි තදබදයක් සහ පීඩනයක් නිර්මාණය වී තිබෙනවා. මෙම ඓතිහාසික තීරණය හරහා එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට රජය අපේක්ෂා කරනවා," යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය 2026 වසරේ ආරම්භ කිරීමට නියමිත අතර, ඒ යටතේ පවතින ජැටිය මීටර් 300කින් දීර්ඝ කිරීම සහ වරාය අභ්‍යන්තර මාර්ග පහසුකම් ඉදිකිරීම ඇතුළු නවීන පහසුකම් රැසක් සැලසීම තුළින් වරායේ ධාරිතාව ඉහළ නැංවීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට අමතරව, උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය තවත් පියවර කිහිපයක් ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය:
* මයිලිඩ්ඩි වරාය: වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 280ක් වෙන් කර ඇති අතර, එහි වැඩ කටයුතු මෙම වසර තුළ නිම කිරීමට අපේක්ෂිතය.
* කොළඹුතුරේ වරාය: සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 165ක් යටතේ වැඩ ආරම්භ කර ඇත.
* ගුරුනගර් සහ පේසාලේ: යාපනය-ගුරුනගර් ප්‍රදේශයේ නව ධීවර වරායක් ඉදිකිරීමටත්, මන්නාරම-පේසාලේ ප්‍රදේශයේ ජනතා ඉල්ලීම පරිදි නව වරායක් සඳහා ලබන වසරේදී සැලසුම් කිරීමටත් කටයුතු යොදා ඇත.
මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති හරහා ධීවර ප්‍රජාව සවිබල ගන්වා, මෙරට ධීවර කර්මාන්තය ඉහළ තලයකට ඔසවා තැබීම රජයේ ඒකායන අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.