1 July 2026
ධීවර කර්මාන්තය නවීකරණය කරමින් තරුණ පරපුර සවිබල ගැන්වීමට ධීවර දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ DVV International ආයතනය අතර විශේෂ ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ අනාගතය ශක්තිමත් කරමින් තරුණ පරපුර මෙම ක්ෂේත්රය වෙත ආකර්ෂණය කරගැනීමේ සහ නවීන වෘත්තීය පුහුණුව ලබාදීමේ අරමුණින්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ජර්මන් රජයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක DVV International ආයතනය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට ඊයේ (30) අත්සන් තැබිණි.
මෙම ගිවිසුම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්. ජේ. කහවත්ත මහතා සහ DVV International ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා සොන්ජා බෙලෙටේ (Ms. Sonja Belete) මහත්මිය අත්සන් තැබූහ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ මරුවැල්පන්න (Long-line) ධීවර කර්මාන්තය සඳහා තරුණ පිරිස් යොමු කරමින් ඔවුන්ට නවීන වෘත්තීය පුහුණුව ලබාදීමට පියවර ගැනේ. එමගින් මෙරට බහුදින ධීවර කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිත අතර, පුහුණුව සාර්ථකව නිමකර රැකියාවල නිරත වන තරුණයින්ට ජාතික වෘත්තීය කුසලතා සහතිකය (NVQ) ලබා ගැනීමට ද අවස්ථාව සලසා දී තිබේ.
මෙම සහයෝගීතාවයට සමගාමීව, ධීවර දෙපාර්තමේන්තුවේ පුහුණු හා පරිපාලන කටයුතු තාක්ෂණිකව දියුණු කිරීම සඳහා DVV International ආයතනය විසින් පරිගණක යන්ත්‍ර කිහිපයක් ද දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කරන ලදී.
නවීන තාක්ෂණික දැනුම සහ වෘත්තීය කුසලතාවන්ගෙන් සන්නද්ධ දක්ෂ මානව සම්පතක් බිහිකිරීම හරහා මෙරට ධීවර ක්ෂේත්රයේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අපේක්ෂාව බව අධ්යක්ෂ ජනරාල් එස්. ජේ. කහවත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධ්යක්ෂ (විමර්ශන, පුහුණු හා වැටලීම්) එල්. ජී. ආර්. ඉසුරානි මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී ආර්. ඩී. ආර්. එස්. රාජපක්ෂ මහත්මිය, සහකාර අධ්යක්ෂ (විමර්ශන) එච්. නවෝද් විජේතුංග මහතා සහ නීති සහකාර නිලධාරී ඩබ්. ඒ. ඩී. පී. ඩී. වනිගසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
Share

