අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සාම්ප්‍රදායික මා දැල් ධීවර ක්‍රමය ශ්‍රී ලංකාවේ තහනම් කර නොමැති අතර එය ඉදිරියටත් ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා, තහනමට ලක්ව ඇත්තේ මුහුදු සම්පත් විනාශ වන ආකාරයෙන් ට්‍රැක්ටර් ඇතුළු යාන්ත්‍රික උපකරණ භාවිත කරමින් සිදුකරන ධීවර කටයුතු පමණක් බව පැහැදිලි කළේය.
පසුගිය සමයන්හිදී විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව විවිධ ආකාරයෙන් මා දැල් ධීවර කටයුතු සඳහා අවසර ලබාදීම හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු ඇතිවිය.
පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් මා දැල් ධීවරයන් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින අතර, අද (23) දිනයේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
“අපට මුහුදු සම්පත් විනාශ වීමට ඉඩ දිය නොහැකියි. නීතිවිරෝධී කටයුතු ද අනුමත කළ නොහැකියි. නමුත් ධීවර ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමේ වගකීම රජය භාර ගන්නවා”
— ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්
මුලදී මේ සඳහා මාස දෙකක කාලයක් ඉල්ලා සිටිය ද, ගැටලුව වෙනුවෙන් නිසි හා විද්‍යාත්මක විසඳුමක් ලබාදීමට එම කාලය ප්‍රමාණවත් නොවන බැවින් වසරක කාලයක් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා පැවසීය. ධීවර ජනතාවද ඒ සඳහා සිය එකඟතාව පළ කර ඇත.
සාම්ප්‍රදායික ආකාරයෙන් මා දැල් ධීවර කටයුතු සිදුකිරීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයක් සකස් කරන බැවින්, තහනම් උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙස අමාත්‍යවරයා ධීවරයන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, රජය ඉල්ලා ඇති මෙම කාලය දේශපාලන වාසියක් සඳහා යොදා ගනිමින් විපක්ෂය විසින් ධීවර ජනතාව නොමඟ නොයැවිය යුතු බවද ඔහු සඳහන් කළේය.
තවද දීර්ඝකාලීන ප්‍රශ්නයක් වන ඉන්දීය ධීවර ගැටලුවට විසඳුම් සෙවීම සඳහාද රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.