23 June 2026
අතුරුදන් වූ ‘IDAY-A- 0122KMN’ ධීවර යාත්‍රාව සෙවීමට දකුණු මුහුදේ වෙළඳ නෞකාවල සහායත් ලබා ගැනේ: නාවික, ගුවන් සහ ධීවර දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව

ශ්‍රී ලංකාව සතු බහුදින ධීවර යාත්‍රා අතරින් ඕනෑම මොහොතක යාත්‍රා 2,500 ත් 3,000 ත් අතර ප්‍රමාණයක් මෙන්ම කුඩා යාත්‍රා 10,000 ක් පමණ දේශීය හා ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නිරත වන බවත්, ඒ අනුව අවම වශයෙන් ධීවරයින් 30,000 කට ආසන්න පිරිසක් නිරන්තරයෙන් මුහුදේ රැඳී සිටින බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.

පසුගිය ජූනි 19 වැනිදා මාතරින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ‘IDAY-A- 0122KMN’ නම් යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව අතුරුදන් වීම පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේය. අදාළ යාත්‍රාව තුළ කිසිදු ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (VMS/AIS) නොතිබීම හේතුවෙන් ඔවුන් සිටින ස්ථානය හඳුනා ගැනීමට බාධා මතුව ඇත.

මේ වන විට ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් පිළිබඳව සුසන්ත කහවත්ත මහතා මෙසේ පැහැදිලි කළේය:

“මෙම යාත්‍රාව සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ KA 360 සහ KA 350 යන නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම නාවික හමුදාවේ P 485, P 410 සහ ‘සිඳුරළ’ නම් දැවැන්ත නෞකාව ද සෝදිසි මෙහෙයුම් සඳහා එක් කර තිබෙනවා. මීට අමතරව, කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සහ මෙහෙයුම් මධ්‍යස්ථානය (MRCC) හරහා දකුණු මුහුදු කලාපයේ යාත්‍රා කරන සියලුම දේශීය හා ජාත්‍යන්තර වෙළඳ නෞකා සහ වාණිජ නෞකා වෙත ද මේ පිළිබඳව පණිවිඩ නිකුත් කර තිබෙනවා. එවැනි යාත්‍රාවක් අනතුරට පත්ව ඇති බව දුටුවහොත් වහාම සහාය වන ලෙස එම නෞකාවලින් ද ඉල්ලා සිටිනවා.”

ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී විශේෂ ඉල්ලීමක් කළේය:

“ධීවර රැකියාවට පිටත්ව යාමට පෙර සෑම යාත්‍රාවකම සන්නිවේදන උපකරණ සහ යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවි කර ඒවා ක්‍රියාකාරී මට්ටමේ පවත්වා ගැනීම මෙන්ම සෑම විටම ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳ සිටීම අනිවාර්යයි. පසුගිය කාලසීමාවේ අයහපත් කාලගුණය නොතකා මුහුදු ගිය ධීවරයින් හත්දෙනෙකු අනතුරට පත් වූ අතර ඉන් පස්දෙනෙකු අතුරුදන්ව ඇත්තේ නිසි ආරක්ෂිත පියවර නොගැනීම නිසයි.”

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවට නැවතත් අවධාරණය කරයි.

Share

Latest News

අතුරුදන් වූ ‘IDAY-A- 0122KMN’ ධීවර යාත්‍රාව සෙවීමට දකුණු මුහුදේ වෙළඳ නෞකාවල සහායත් ලබා ගැනේ: නාවික, ගුවන් සහ ධීවර දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව
Boats and Fishing Nets Distributed to Fishermen Affected by Cyclone Dithwa
Japan-Funded Purified Ice Production Facility Opened in Iranapalai
කොළඹ ධීවර ගැටලුවලට කඩිනම් විසඳුම්: වෙරළේ අතහැර දමා ඇති රජයේ ගොඩනැගිලි ධීවර ප්‍රජාවගේ ප්‍රයෝජනයට ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නියෝග
Official Meeting Between the High Commissioner of Canada to Sri Lanka and the Minister of Fisheries on the Progress of Sri Lanka’s Fisheries Sector and Future Cooperation
The Beginning of a Digital Revolution in the Fisheries Sector!
1 2 3 17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *