01 October 2026
නව පරපුරේ ධීවර ශ්‍රම බලකායක් බිහිකිරීමේ අරමුණින් "Simulator Based" පුහුණු වැඩසටහන ඇරඹේ!.
ධීවර ක්ෂේත්රය සඳහා නව පරපුරේ වත්තීය මට්ටමේ ශ්‍රම බලකායක් බිහිකිරීමේ අරමුණින්, දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් තරුණයන් ධීවර කාර්මිකයන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහන යටතේ සමාරම්භක පුහුණු වැඩසටහන තරුණයන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසු ගියදා සාර්ථකව ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය තුළ පුහුණු හා නිපුණ ධීවර කාර්මිකයන්ගේ අවශ්‍යතාවය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර, විශේෂයෙන්ම නව පරපුරේ තරුණයන් මෙම ක්ෂේත්රයට ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන්ට longline ධීවර ක්‍රමවේදය, ආරක්ෂිත ධීවර කටයුතු හා වගකීම් සහගත ධීවර කර්මාන්තය පිළිබඳ අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙම පුහුණු වැඩසටහන නේවාසික පුහුණු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත පුහුණු කාලය තුළ දින 03ක සිද්ධාන්ත පුහුණුවක් සහ දින 02ක simulator-based පුහුණුවක් ලබාදීමට නියමිතය. සිද්ධාන්ත පුහුණුව තුළ ධීවර මෙහෙයුම් සම්බන්ධ නීති හා රෙගුලාසි, ගැඹුරු මුහුදු හා මහ මුහුදු ධීවර කටයුතු, යාත්‍රා මෙහෙයුම් හා ආරක්ෂාව, ධීවර ආම්පන්න භාවිතය, මත්ස්‍ය අස්වනු හැසිරවීම හා ගුණාත්මකභාවය පවත්වා ගැනීම, සාගර කාලගුණ තත්ත්වයන්, සාගර දූෂණය වැළැක්වීම සහ පරිසර සංරක්ෂණය ඇතුළු ක්ෂේත්රයට අදාළ වැදගත් කරුණු පිළිබඳ දැනුම ලබාදීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, simulator-based පුහුණුව මඟින් සැබෑ මුහුදු පරිසරයක ඇතිවිය හැකි විවිධ තත්ත්වයන් අනුකරණය කරමින්, ධීවර යාත්‍රා මෙහෙයවීම, ආරක්ෂිතව කටයුතු කිරීම, කණ්ඩායම් ලෙස ක්‍රියා කිරීම සහ හදිසි අවස්ථාවලදී නිවැරදි තීරණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමට කටයුතු කෙරේ. මෙම පුහුණුව මඟින් මුහුදු යාමට පෙර පුහුණුලාභීන්ගේ තාක්ෂණික අවබෝධය සහ සූදානම වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත.
මෙම වැඩසටහන මඟින් තෝරාගත් තරුණයන්ට ධීවර ක්ෂේත්රයට පිවිසීම සඳහා අවශ්‍ය මූලික දැනුම හා කුසලතා ලබාදීම පමණක් නොව, වගකීම් සහගත, ආරක්ෂිත හා තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා දායක විය හැකි නව පරපුරක් නිර්මාණය කිරීමටද අපේක්ෂා කෙරේ.
මෙම පුහුණු වැඩසටහ දිස්ත්‍රික් මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ධීවර ක්ෂේත්රයේ පවතින පුහුණු ශ්‍රම බලකා හිඟයට විසඳුම් ලබාදීමටත්, තරුණ පරපුර සඳහා නව දෙස් විදෙස් රැකියා හා වෘත්තීය අවස්ථා නිර්මාණය කිරීමටත් හැකි වනු ඇත.
මෙම සමාරම්භක Simulator Based පුහුණු වැඩසටහන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර වැඩසටහන සඳහා මූල්‍ය හා අනෙකුත් සහයෝගය ලබාදෙන ජර්මානු රාජ්‍යයට අනුබද්ධිත DVV International ආයතනය නියෝජනය කරමින් දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා Sonja Belete මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.











