Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
07 August 2026
සේනානායක සමුද්‍රයේ ධීවර තොටුපළක් පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ නිරීක්ෂණයට

මොණරාගල දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වන සේනානායක සමුද්‍රය ප්‍රදේශයේ ධීවර තොටුපළක් පිහිටුවීම සම්බන්ධයෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වෙමින් ධීවර සමිති නියෝජිතයන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ ජාතික ජලජජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා තාක්ෂණික විශේෂඥයන් ද එක්වූ අතර, අදාළ ප්‍රදේශයේ පාරිසරික සහ මත්ස්‍ය සම්පත් තත්ත්වයන් පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළහ.

එහිදී ධීවර සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ වසර ගණනාවක් තිස්සේ තමන් මුහුණ දෙන ප්‍රවාහන අපහසුතා, ධීවර කටයුතු සඳහා ප්‍රවේශ පහසුකම් නොමැතිකම සහ ධීවර තොටුපළක හිඟකම හේතුවෙන් ඇති වන අභියෝග පිළිබඳවයි. ඊට ස්ථිර විසඳුමක් ලෙස සේනානායක සමුද්‍රය ප්‍රදේශයේ සුදුසු ස්ථානයක මත්ස්‍ය ගොඩබෑමේ මධ්‍යස්ථානයක් ඉදිකර දෙන ලෙස ඔවුහු නැවත වරක් ඉල්ලා සිටියහ.

ඉන් අනතුරුව අදහස් දැක්වූ තාක්ෂණික නිලධාරීන් පෙන්වා දුන්නේ, සේනානායක සමුද්‍රය යනු දේශීය මත්ස්‍ය විශේෂ කිහිපයකගේ අභිජනන ක්‍රියාවලිය සිදුවන සහ මත්ස්‍ය පැටවුන් වර්ධනය වන වැදගත් ජෛවීය ප්‍රදේශයක් බවයි. මෙම ප්‍රදේශයේ ස්ථිර ධීවර තොටුපළක් පිහිටුවීම හෝ අධික ලෙස ධීවර කටයුතු සඳහා අවසර දීම මගින් මත්ස්‍ය සම්පතට හානි සිදුවීමේ අවදානමක් ඇති බවට විද්‍යාත්මක ඇගයීම් මගින් පෙන්වා දී ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

එසේම, ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශවලින් එකක් වන සේනානායක සමුද්‍රයේ ස්වාභාවික සමතුලිතතාවය සහ ජලජ ජීවීන්ගේ පැවැත්ම සුරැකීම අතිශය වැදගත් වන අතර, මත්ස්‍ය සම්පත තිරසාර ලෙස ආරක්ෂා කිරීම තුළින් පමණක් අනාගත පරම්පරාවට ද ධීවර කර්මාන්තයේ ප්‍රතිලාභ තහවුරු කළ හැකි බව නිලධාරීන් අවධාරණය කළහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේ, ධීවරයන්ගේ මෙම ඉල්ලීම වසර ගණනාවක් තිස්සේ පවතින සාධාරණ ගැටලුවක් බව රජය මැනවින් වටහාගෙන ඇති බවයි.

“මෙය සාමාන්‍ය පරිපාලනමය ගැටලුවක් නෙවෙයි; විද්‍යාත්මකව ප්‍රවේශ විය යුතු කරුණක්. අදාළ ස්ථානයේ ධීවර තොටුපළක් ඉදිකිරීම හෝ ධීවර කටයුතු ව්‍යාප්ත කිරීම මගින් මත්ස්‍ය සම්පතට හානි සිදුවීමේ අවදානමක් ඇති බව අදාළ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. එම නිසා ධීවරයන්ගේ ජීවනෝපාය මෙන්ම මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම ද සමබර වන විසඳුමක් ලබාදීමට රජය කටයුතු කරනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

“මත්ස්‍ය පැටවුන්ට සහ අභිජනන ප්‍රදේශවලට කිසිදු හානියක් සිදු නොවිය යුතුයි. එසේම ධීවරයන්ගේ ජීවනෝපාය ද ආරක්ෂා විය යුතුයි. එම නිසා, පාරිසරික වශයෙන් වැදගත් ප්‍රදේශ හැර, වෙනත් සුදුසු විකල්ප ස්ථානයක ධීවරයන්ට සුරක්ෂිතව ධීවර කටයුතුවල නිරත විය හැකි පරිදි අවශ්‍ය පහසුකම් සැලසීමට නිලධාරීන් සමඟ එක්ව පියවර ගන්නවා,” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ සියලු තාක්ෂණික ආයතනවල නිර්දේශ සලකා බලමින් පාරිසරික ආරක්ෂාව, මත්ස්‍ය සම්පතේ තිරසාරභාවය සහ ධීවරයන්ගේ සුභසාධනය යන කරුණු තුනම ඒකාබද්ධ කෙරෙන ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.