en banner

4මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ ආයතනයක ඇණවුමකට අනුව මෙරට සීනෝර් (Ceynor) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන, වැඩකටයුතු 90%ක් නිමවා ඇති දැවැන්ත යාත්‍රාවේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (21) පෙරවරුවේ මට්ටක්කුලිය සීනෝර් යාත්‍රාංගණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අඩි 55ක් දිගැති, ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක (250,000) වටිනාකමකින් යුතු මෙම නවීන යාත්‍රාව නුදුරු දිනකදීම මොරිෂස් රාජ්‍යයට භාරදීමට නියමිතය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය කාලය පුරා සීනෝර් ආයතනය නොසලකා හැර තිබුණද, පවතින මානව හා භෞතික සම්පත් උපයෝගී කරගනිමින් මෙම ආයතනය ලොව ප්‍රමුඛ පෙළේ නෞකා නිෂ්පාදන ආයතනයක් (Dockyard) බවට පත්කිරීමට රජය කටයුතු කරන බවයි.

"සීනෝර් ආයතනය යනු ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි දැවැන්ත විභවතාවක් සහිත ආයතනයක්. මෙරට භාවිත වන ධීවර යාත්‍රාවලින් සුවිශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත්තේ සීනෝර් ආයතනයයි. සාමාන්‍යයෙන් වසරකට මෙවැනි විශාල යාත්‍රාවක් නිෂ්පාදනය කළත්, ඉදිරියේදී එම ධාරිතාව දෙගුණයකින් වැඩි කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෑතකදී අප සිදුකළ නෝර්වේ සංචාරයේදී එරට තාක්ෂණික සහය ලබාගැනීමට එකඟතාව පළ වූ අතර, ලබන මස මුලදී සිදුකරන ජපාන සංචාරයේදී ද නවීන තාක්ෂණය හා දැනුම සීනෝර් ආයතනය වෙත ලබාගැනීමට අපේක්ෂා කරනවා," යැයි අමාත්‍යවරයා පැවසීය.

සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේ, මට්ටක්කුලිය සහ කාරෙයිනගර් යන යාත්‍රාංගණ ද්විත්වයම උපයෝගී කරගනිමින් වසරකට විශාල යාත්‍රා 04ක්
නිපදවා ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික විදේශ විනිමයක් ඉපයීමට සැලසුම් කර ඇති බවයි. ධීවර අමාත්‍යාංශයේ සිව් අවුරුදු සැලැස්ම යටතේ දැනට පවතින ඩොලර් මිලියන 300ක අපනයන ආදායම ඩොලර් මිලියන 600 දක්වා වැඩිකිරීමේ ඉලක්කය සපුරාලීම සඳහා සීනෝර් ආයතනය සුවිශාල දායකත්වයක් සපයනු ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ සහ සීනෝර් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

3

5

6

2

1

Youtube