මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන ව්‍යාපාරික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් 2025 අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පවසයි.
මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව ඉස්සන් පසු-කීටයන් (Post Larvae) සෘජුවම ජලාශවලට මුදා හැරීම වෙනුවට, එම කීටයන් ජලාශය තුළම ඇති කූඩු තුළ රඳවා මාසයක පමණ කාලයක් පූර්ව වර්ධනයක් (Pre-growing) ලබා දීමෙන් පසුව ජලාශයට මුදා හැරීම මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයයි. ඒ අනුව, මිරිදිය ඉස්සන් වගා කරන ප්‍රධාන ජලාශ ආශ්‍රිතව පර්යේෂණ මට්ටමේ කූඩු 25ක් ස්ථාපිත කිරීමට අධිකාරිය පියවර ගෙන ඇත.
*මෙම නව ක්‍රමවේදය සහ එහි ප්‍රගතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ සඳහන් කළේය:*
"අපි දැනටමත් ගිරිතලේ වැව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් දෙකක් සහ උතුරු පළාතේ වැව් දෙකක් ආශ්‍රිතව මෙම පර්යේෂණාත්මක ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා. මීට පෙර ඉස්සන් කිලෝවක් අස්වැන්න ලෙස ලබා ගැනීම සඳහා කීටයන් 300-400ක් පමණ වැව්වලට දැමීමට සිදු වුණා. නමුත් මෙම නව 'කූඩු ක්‍රමය' හරහා මාසයකට පසුව අඟල් 1.5 - 2ක් පමණ දක්වා වර්ධනය වූ ඉස්සන් මුදා හැරීම නිසා, වැඩුණු ඉස්සන් පැටවුන් 100කින් පමණ ඉස්සන් කිලෝවක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙය මිරිදිය ඉස්සන් කර්මාන්තයේ කාර්යක්ෂමතාව තෙගුණයකින් ඉහළ නැංවීමක්."
මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය හමුවේ පෞද්ගලික අංශය සහ පළාත් සභා ද මීට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටී. විශේෂයෙන්ම මිරිදිය ඉස්සන් මිලදී ගන්නා ව්‍යවසායකයින් විසින් ඉස්සන් කීටයන් සහ අවශ්‍ය ආහාර ලබා දීමට ඉදිරිපත් වී ඇති අතර, ඌව සහ දකුණු පළාත් සභා ද තම පළාත් තුළ මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහය ලබා දෙන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම නව තාක්ෂණික මැදිහත්වීම හරහා මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, පාරිභෝගිකයින්ට වැඩි මිරිදිය ඉස්සන් අස්වැන්නක් ලබා දීමටත් හැකි වනු ඇතැයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.








