en banner

IMG 9626කුරුණෑගල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (11) දින ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විශේෂයෙන් අවධාරණය කළේ, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), නාරා (NARA) ආයතනය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ධීවර සංවිධානවල ඒකාබද්ධ උත්සාහය මත පසුගිය කමිටු රැස්වීමේදී හඳුනාගත් ගැටලු බහුතරයක් මේ වනවිටත් සාර්ථකව විසඳා ඇති බවයි. ඉතිරි ගැටලු ද කඩිනමින් නිරාකරණය කළ හැකි බව පෙන්වා දුන් එතුමා, ආයතන අතර පවතින මනා සම්බන්ධීකරණය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළේය.

තවද, නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතය මැඩපැවැත්වීම සඳහා පොලීසිය, රාජ්‍ය ආයතන සහ ධීවර සමිති එක් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, එක් ස්ථානයක හැර කුරුණෑගල සෙසු සියලුම වැව් ආශ්‍රිතව නීතිවිරෝධී ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකි වී ඇති බව ධීවර නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු නාමල් කරුණාරත්න මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගීතා හේරත් මහත්මිය ද සහභාගී වූහ. ඊට අමතරව වයඹ පළාත් ලේකම්, පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති සංජීව කරුණාසාගර මහතා මෙන්ම ධීවර සංස්ථාව සහ සීනෝර් ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

IMG 9629

IMG 9640

Youtube