en banner

WhatsApp Image 2025 10 23 at 17.52.48ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන් රාජ්‍යයේ තානාපති, අතිගරු අහමඩ් අලි සයිද් අල් රෂ්ඩි මැතිතුමා අතර විශේෂ හමුවක් අද (23) දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර ධීවර ක්ෂේත්‍රයේ සබඳතා ශක්තිමත් කරමින්, ආයෝජන සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා නව අවස්ථා විවර කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරයා, ඕමානයේ ආයෝජන අවස්ථා පිළිබඳව, විශේෂයෙන්ම ඕමාන් ආයෝජන අධිකාරිය (Oman Investment Authority - OIA) හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. ඕමාන් ආයෝජකයින්, ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා වෙත හඳුන්වා දීමට තමා උනන්දුවක් දක්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, "දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබූ රටක් සහ අමාත්‍යාංශයක් අප භාර ගත් නමුත්, මේ වන විට ධීවර අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රගතියේ මාවතට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඕමානය ද ධීවර ක්ෂේත්‍රයේ ශක්තිමත් රටක් බැවින්, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නංවාලීම සඳහා ඔවුන්ගේ සහයෝගය අපි අපේක්ෂා කරනවා" යනුවෙන් පැවසීය. එමෙන්ම, ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දෙන පහසුකම් පිළිබඳව ද අමාත්‍යවරයා ඕමාන් රජයට සිය කෘතඥතාව පුද කළේය.

මෙම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා, ඕමාන් රාජ්‍යයේ යාත්‍රා ඉදිකිරීමේ අවශ්‍යතා, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සී-නෝර් පදනම හරහා සපුරා ගැනීමටත්, ඒ සඳහා ඒකාබද්ධ ව්‍යාපාරයක් (Joint Venture) ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය. තවද, ඕමානයේ සමුද්‍ර පර්යේෂණ ආයතන සහ ශ්‍රී ලංකාවේ නාරා (NARA) ආයතනය අතර ධාරිතා වර්ධන සහ දැනුම හුවමාරු වැඩසටහන් මෙන්ම, මෙරට ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඕමාන් රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා එක්වන ලෙස තානාපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත මෙහිදී විශේෂ ආරාධනාවක් ද සිදු කරන ලදී. යෝජිත ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියේදී සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම අවසානයේදී එකඟතාව පළ කළහ.

WhatsApp Image 2025 10 23 at 17.52.48 1

WhatsApp Image 2025 10 23 at 17.52.49

WhatsApp Image 2025 10 23 at 17.52.49 1

Youtube