ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පතට සහ ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්මට බරපතල තර්ජනයක් වී ඇති නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම සඳහා පුළුල්, ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා, වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, ස්ටෙෆනි ප්‍රනාන්දු සහ රොෂාන් අක්මීමන යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර දෙපාර්තමේන්තුව, නාරා ආයතනය සහ පුපුරන ද්‍රව්‍ය පාලක යන ආයතනවල ඉහළ නිලධාරීහු සහභාගී වූහ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරියෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා,
"නීති විරෝධී ආම්පන්න පාවිච්චි කරමින් අපේ මුහුදු සීමාවත්, ධීවර ජනතාවත්, සමස්ත සමුද්‍ර සම්පතත් විනාශ කරන ක්‍රියාවලියකට අපි තිත තැබිය යුතුමයි. ලයිට් කෝස්, ලයිලා සුරුක්කු දැල් සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානිය අතිමහත්. මේ තත්ත්වය දිගටම පැවතුණහොත්, අපේ අනාගත පරපුරට ඉතිරිවන්නේ මුහුදු කාන්තාරයක් පමණයි. ධීවර කර්මාන්තය සහ ධීවර ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි මෙම දැඩි තීන්දු ගෙන තිබෙනවා," යැයි අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ ප්‍රධාන ක්‍රියාමාර්ග පහත පරිදි වේ:
1. ඒකාබද්ධ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු: වෙරළබඩ දිස්ත්‍රික්ක 15 ම ආවරණය වන පරිදි, නාවික හමුදාව, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ධීවර ප්‍රජා නියෝජිතයින්ගෙන් සමන්විත ශක්තිමත් සම්බන්ධීකරණ කමිටු පිහිටුවනු ලැබේ. එක් එක් දිස්ත්‍රික්කයට අනන්‍ය වූ නීති විරෝධී ක්‍රියා හඳුනාගෙන ඒවා මැඬලීමට විධිමත් සැලසුම් සකස් කිරීම මෙමගින් සිදු කෙරේ.
2. ක්ෂණික ඇමතුම් අංක (Hotlines) හඳුන්වාදීම: මුහුදේදී සිදුවන නීති විරෝධී ක්‍රියා පිළිබඳව මහජනතාවට සහ ධීවර ප්‍රජාවට ක්ෂණිකව තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක හඳුන්වා දී ඇත. තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවයේ රහස්‍යභාවය සුරක්ෂිත කිරීමට බලධාරීන් පූර්ණ සහතිකය ලබා දී තිබේ.
* නාවික හමුදාව: 105
* වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව: 106
3. නීතිමය රාමුව ශක්තිමත් කිරීම: දැනට පවතින ධීවර පනත වෙනුවට නව පනතක් කඩිනමින් පාර්ලිමේන්තුගත කිරීමටත්, පවතින රෙගුලාසි කාලීන අවශ්‍යතාවලට ගැලපෙන සේ සංශෝධනය කිරීමටත් තීරණය විය.
4. ක්ෂණික වැටලීම් සහ දැනුවත් කිරීම: නීති විරෝධී ධීවර කටයුතු බහුල ප්‍රදේශ ඉලක්ක කර, අදාළ ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්ෂණික වැටලීම් ඉහළ නැංවීමටත්, ඊට සමගාමීව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා:
"අද සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වුණේ නීති විරෝධී ආම්පන්න භාවිතයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කරන්නේ කෙසේද යන්නයි. මෙහිදී අප තේරුම් ගත යුතුයි, මුහුද කියන්නේ අමාත්‍යාංශයේ හෝ නාවික හමුදාවේ හෝ තනි වගකීමක් නොව, ධීවර කටයුතු කරන සහ නොකරන මේ රටේ සියලු දෙනාටම අයිති පොදු සම්පතක් බව. ඒ නිසා, මේ සම්පත රැකගැනීමට සියලු දෙනා මැදිහත් විය යුතුයි කියන එක තමයි අපි තීරණයක් විදිහට ගත්තේ," යැයි පැවසීය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ද මෙහිදී අදහස් දක්වමින්,
"දශක ගණනාවකට පෙර නීත්‍යානුකූලව හඳුන්වාදුන් පන්න ක්‍රම වලින් පවා අද වන විට හානි සිදුවන බවට ධීවර ප්‍රජාවම පෙන්වා දෙනවා. ඒ අනුව, එම නීත්‍යානුකූල පන්න ක්‍රම පවා නාරා ආයතනය මගින් නැවත සමාලෝචනයකට ලක් කිරීමට තීරණය කළා. අපේ ධීවර සම්පත වේගයෙන් හීන වීමට ප්‍රධාන හේතුවක් තමයි ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන මේ නීති විරෝධී ක්‍රියා. මෙය නැවැත්වීමට නීතිමය රාමුව ශක්තිමත් කරනවා සේම, පහළ මට්ටමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍යයි," යනුවෙන් සඳහන් කළේය.
මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ග හරහා, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය තිරසාර සහ ඉහළ ආර්ථික වටිනාකමක් සහිත කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ ඒකායන අරමුණයි.