දකුණු ආසියානු කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් සවිබල ගැන්වීම සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගත් කලාපීය "Aqua Livelihood" ව්‍යාපෘතිය, සාක් සංවර්ධන අරමුදල (SDF) සහ සාමාජික රටවල ජාතික ආයතන සමඟ එක්ව අද (05) දින කොළඹදී නිල වශයෙන් දියත් කරන ලදී.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා සහභාගී විය.
"ජලජීවී වගා සංවර්ධනය තුළින් සාර්ක් කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන්ගේ ජීවනෝපාය නැංවීම සහ ග්‍රාමීය ජනතාවගේ පෝෂණ සුරක්ෂිතතාවය" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.97ක මුදලක් ආයෝජනය කර ඇත. මෙමගින් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ග්‍රාමීය පවුල්120,000කට අධික සංඛ්‍යාවකට සෘජු ප්රතිලාභ හිමිවනු ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මත්ස්‍ය ගොවි පවුල්11,000ක් පමණ සෘජු ප්රතිලාභ ලබනු ඇති අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් 586,224ක (රුපියල් මිලියන 175කට ආසන්න) මුදලක් වෙන්කර තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) කටයුතු කරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා:
"අද අප ආරම්භ කරන්නේ හුදෙක් ව්‍යාපෘතියක් නොව, ගමනක්. කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් දහස් ගණනකට උපකාර කරන, ග්‍රාමීය පවුල්වල පෝෂණය සහ ආර්ථිකය ශක්තිමත් කරන, අපගේ කලාපය පුරා ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනගන ගමනක්.
මෙම ව්‍යාපෘතියේ ඇති සුන්දරම කොටසක් නම්, මෙහි ප්රතිලාභීන්ගෙන් අවම වශයෙන් 30%ක් කාන්තාවන් වීමයි. එය හුදෙක් සංඛ්‍යාවක් නොව, සංවර්ධනයේ සෑම පියවරකදීම කාන්තාවන් සවිබල ගැන්විය යුතුයි යන පණිවිඩයයි. අප කාන්තාවන් සවිබල ගන්වන විට, මුළු පවුලම සවිබල ගැන්වෙනවා. එමගින් ප්‍රජාව සහ රට ශක්තිමත් වෙනවා. සාක් සංවර්ධන අරමුදල හරහා පොදු ගැටලු විසඳීමට රටවල් එකට එක්වී, දැනුම බෙදාහදා ගනිමින් කටයුතු කරන්නේ කෙසේද යන්නට මෙය කදිම උදාහරණයක්. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියාවටම ඉමහත් සාර්ථකත්වයක් ගෙන ඒම සඳහා අපි එක්ව කැපවෙමු."
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා:
"මෙම ව්‍යාපෘතිය මගින් පර්යේෂණ සහ නිෂ්පාදකයාගේ යථාර්ථය අතර ඇති, එම පරතරය පියවීමට කටයුතු සිදු කෙරේ. ඒ වගේම, ශ්‍රී ලංකාවේ පවතින මත්ස්‍ය පැටවුන්ගේ හිඟයට පිළියමක් ලෙස, ප්‍රජාව විසින් මෙහෙයවන විමධ්‍යගත අභිජනන ඒකක පිහිටුවීම මෙහි තවත් ප්‍රධාන අරමුණක් වේ. කාන්තාවන්, සහායකයින් ලෙස පමණක් නොව, තීරණ ගන්නන්, නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් ලෙස සවිබල ගැන්වීම තුලින් අපට පවුල් සහ ප්‍රජාවන් නගා සිටුවිය හැකිවේ. මෙම ව්‍යාපෘතිය, රජය, පර්යේෂකයින්, පෞද්ගලික අංශය සහ ගොවි ප්‍රජාව සම්බන්ධ කරගන්නා බහුවිධ පාර්ශ්ව ආකෘතියක් වේ. එමගින්, මෙම ව්‍යාපෘතියේ තිරසර බව තහවුරු වේ."
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති, කිත්සිරි ධර්මප්‍රිය මහතා:
"අපේ රටවල මිරිදිය ධීවර කර්මාන්තයේ පවතින ප්‍රධානම ගැටලු දෙකක් වන, ගුණාත්මක මත්ස්‍ය පැටවුන්ගේ හිඟය සහ මත්ස්‍ය ආහාර සඳහා පවතින අධික වියදම යන ගැටලු සඳහා විසඳුම් සෙවීම මෙහි මූලික අරමුණක්. මෙම ව්‍යාපෘතිය යටතේ, දේශීයව පවතින අමුද්‍රව්‍ය මගින් අඩු වියදම් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටක මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය වැඩි කිරීමටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රී ලංකාවට තවත් මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 300,000ක් පමණ අවශ්‍යයි. එය මුහුදෙන් පමණක් ලබාගත නොහැකියි. ඒ හිඟය පියවා ගැනීමට අපට මිරිදිය කර්මාන්තය දියුණු කළ යුතුමයි. මෙම ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාවේ පවුල් 800-900කට සෘජුවම දරිද්‍රතාවයෙන් මිදීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, 30,000කට අධික පිරිසකට වක්‍ර ප්රතිලාභ හිමිවනු ඇති."