ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර වැදගත් හමුවක් ඊයේ (ජූලි 08) අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී දෙපාර්ශවයටම වැදගත් කරුණු, විශේෂයෙන්ම උතුරු පළාතේ සංවර්ධනය සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී. උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි නව රජය දක්වන ප්‍රධාන අවධානය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී උතුරේ ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කළේය:
* කර්මාන්ත කලාප: පරන්තන්, කාංකේසන්තුරෙයි, සහ මාන්කුලම් ප්‍රදේශවල ස්ථාපිත කෙරෙන නව කර්මාන්ත කලාප.
* කර්මාන්තශාලා: වසර 35කට පසු නැවත විවෘත කරන ලද ඔට්ටුසුඩාන් කර්මාන්තශාලාව සහ නැවත ආරම්භ කිරීමට නියමිත පරන්තන් රසායනික කර්මාන්තශාලාව.
* යටිතල පහසුකම්: උතුරේ නව මාර්ග ඉදිකිරීම සහ වසර 35කට පසු මහජන ප්‍රවාහනය සඳහා විවෘත කරන ලද වසා විලාන් සිට පලාලි වෙරළ මංසන්ධිය දක්වා වූ මාර්ගය.
මේ ආකාරයට විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, "තවත් වසර කිහිපයකින් මුළුමනින්ම නව යාපනයක් දැකගත හැකි වනු ඇතැයි" විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාව ස්ථාවරත්වයකින් නැවත ගොඩනැගෙන මෙම අවධියේදී බ්‍රිතාන්‍යයේ සහයෝගය සහ උපකාරය අත්‍යවශ්‍ය බවට අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයේ හොඳ වෙළඳපොළ අවස්ථා ලබා දීමටත්, අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමටත් සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය. තවද, දෙමළ ඩයස්පෝරාවට උතුරේ ආයෝජන සිදු කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත්, බ්‍රිතාන්‍යයේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබඳව දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු සඳහන් කළේය. තවදුරටත්, සිය මෑතකාලීන යාපනය සංචාරය සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, උතුරේ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට විශාල අවස්ථා පවතින බවද පැවසීය.
හමුවේදී උතුරු පළාතේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳවද මහ කොමසාරිස්වරයා විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය මානව හිමිකම්වලට ගරු කරන බවත්, විශේෂයෙන්ම සෙම්මනි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව ස්වාධීනව සිදු කිරීමට රජය ඉඩ සලසා දී ඇති බවත් උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය. ඊට අමතරව, මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා රජයේ මානව හිමිකම් සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු අගය කළ බවද අවධාරණය කළේය.
මෙම හමුවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාද සහභාගී විය.