17 July 2026
මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා

ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් “දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම” ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ මීගමුවේදී පැවැත්විණි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහින්ද ජයසිංහ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී මීගමුව කලපුව ආශ්‍රිතව පවතින ගැටලුවලට ප්‍රතිපත්තිමය විසඳුම් රැසක් ලබාදීමට තීරණය විය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කළේ මීගමුව කලපුව ආරක්ෂා කිරීම සඳහා එහි භූමිය GPS ඛණ්ඩාංක සහිතව සලකුණු කර කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බවයි. කලපුවට සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මෙහිදී එකඟතාව පළ විය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“මීගමුව සහ කුට්ටිදූව ආශ්‍රිතව කරවල කර්මාන්තයේ නියුතු පවුල් දහසක පමණ පිරිසක් සිටිනවා. ඔවුන්ගේ නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිතව හා ඉහළ තාක්ෂණය යටතේ අපනයන වෙළෙඳපොළට යොමු කළ හැකි පරිදි කුට්ටිදූව විශේෂ ‘නිෂ්පාදන ගම්මානයක්’ ලෙස සංවර්ධනය කිරීමට අප අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහාය ඇතිව පුහුණු වැඩසටහන් දැනටමත් ආරම්භ කර තිබෙනවා.”

මීගමුව කලපුව තුළ තහනම් පන්න ක්‍රම භාවිත කරන පිරිස්වලට එරෙහිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ පොලීසිය එක්ව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය. එසේම දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන්හි යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීමටත්, කැපුන්ගොඩ, වත්තල සහ හැඳල ආශ්‍රිතව නව ධීවර තොටුපොළවල් කිහිපයක් ස්ථාපනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තා කඩිනමින් කැඳවීමටත් තීරණය විය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා, ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙන්ම නාරා (NARA), නැක්ඩා (NAQDA) යන ආයතනවල නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වූහ.

Share