16 July 2026
ඉස්සන් වගාව ලෙඩ රෝගවලින් බේරාගන්න බ්‍රිතාන්‍යයෙන් නවීන තාක්ෂණය: වගාකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාරවිලදී
ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාකරුවන්ගේ අතමිට සරු කිරීමටත්, වගා බිම්වලට වැළඳෙන රෝග පාලනය කරමින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමටත් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් වී සිටියි. මෙරට ඉස්සන් වගාකරුවන් නවීන ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අද (16) මාරවිල, ක්ලබ් පාම් බේ හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ බ්‍රිතාන්‍ය රජයේ ‘සාගර රටවල් හවුල්කාරිත්ව වැඩසටහන’ (OCPP) එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ඉස්සන් වගාවේදී රෝග පැතිරීම වළක්වන ‘ජෛව ආරක්ෂණ’ (Biosecurity) ක්‍රමවේද වගාකරුවන්ට හඳුන්වා දීමයි. බ්‍රිතාන්‍යයේ ‘බ්ලූ ප්ලැනට්’ අරමුදල හරහා ක්‍රියාත්මක වන මෙම පස් අවුරුදු වැඩපිළිවෙළ යටතේ අපේ රටේ ධීවරයින්ට සහ වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම නොමිලේම හිමිවේ.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා කියා සිටියේ, ඉස්සන් වගාව අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙනෙන රස්සාවක් වුවත්, වරින් වර වැළඳෙන රෝග නිසා වගාකරුවන් විශාල ලෙස අසරණ වන බවයි.
“අපිට ඕන කරන්නේ ලෙඩ රෝග හැදුණාම බෙහෙත් කරනවාට වඩා, ලෙඩ නොවී වගාව ආරක්ෂා කරගන්නා හැටි වගාකරුවන්ට කියලා දෙන්නයි. ඒ වෙනුවෙන් පසුගිය මාසයේදී අප හඳුන්වා දුන් අලුත් ‘Mobile App’ එක (SIIS) හරහා දැන් ඕනෑම වගාකරුවෙකුට තමන්ගේ වගාව ගැන තොරතුරු ලබා දෙන්නත්, රෝග ගැන කලින්ම අනතුරු ඇඟවීම් ලබා ගන්නත් පුළුවන්. දැනුම තියෙනවාට වඩා වැදගත් වෙන්නේ එය වගා බිමේදී ප්‍රායෝගිකව පාවිච්චි කරන එක,” යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
2023 වසරේ සිට ශ්‍රී ලංකාවට ලබා දෙන මෙම තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ‘Cefas’ ආයතනයටත්, බ්‍රිතාන්‍ය රජයටත් මෙහිදී ස්තූතිය පළ කෙරිණි. බ්‍රිතාන්‍යය සමඟ ඇති කරගත් මෙම සහයෝගය නිසා, අපේ රටේ ඉස්සන් වගාව අසල්වැසි රටවලටත් ආදර්ශයක් වන විදිහට ඉතා සාර්ථකව ඉදිරියටම කරගෙන යන්න පුළුවන් වේවි කියලා ඔහු විශ්වාසය පළ කළා.
මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය රජයේ OCPP වැඩසටහනේ විශේෂඥයින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජලජ සත්ව රෝග විනිශ්චය සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ (CAADDR) විද්වතුන්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) නිලධාරීන්, පර්යේෂකයන්, විද්‍යාඥයින් මෙන්ම ඉස්සන් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Share







