7 July 2026

ධීවර යාත්‍රා 1,500 කට නිරීක්ෂණ පද්ධති (VMS) සවිකිරීමේ සම්පූර්ණ පිරිවැය රජය දරයි: ජාවාරම් මැඩලීමට මෙන්ම ආපදා අවස්ථාවලදී ධීවරයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගත් සුවිශේෂී කැබිනට් තීරණයක්

නීති විරෝධී මසුන් ඇල්ලීම (IUU) සහ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් මැඩලීමට අමතරව, ගැඹුරු මුහුදේදී යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්වුවහොත් හෝ ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන් විට ධීවරයින් මුදවා ගැනීම සඳහා අදාළ යාත්‍රාව පවතින ස්ථානය නිවැරදිව හඳුනාගැනීමේ අරමුණින්, මෙරට ධීවර යාත්‍රා 1,500 කට නිරීක්ෂණ පද්ධති (VMS) සවිකිරීමේ සම්පූර්ණ පිරිවැය රජය විසින් දැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළේය.

ඉන්දියන් සාගර ටූනා කොමිසමේ (IOTC) රෙගුලාසිවලට අනුව ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නිරත වන සෑම ධීවර යාත්‍රාවක්ම ‘යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්’ (VMS) මගින් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම අනිවාර්ය වේ. දැනට මෙරට ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා 5,200ක් අතරින් යාත්‍රා 4,200කට පමණ මෙම පද්ධති සවිකර ඇති අතර, තවත් යාත්‍රා 1,500ක් පමණ නිරීක්ෂණ පද්ධති නොමැතිව මෙහෙයුම් කටයුතුවල නිරත වන බව හඳුනාගෙන ඇත.

මෙම යාත්‍රා අතරින් අඩි 34කට වඩා දිගින් යුතු යාත්‍රා 400ක් ඕනෑම මොහොතක ජාත්‍යන්තර මුහුදු සීමාවන් වෙත පිවිසීමේ හැකියාව පවතින බැවින්, ඒවායේ මෙහෙයුම් කටයුතු විධිමත් අධීක්ෂණයකට ලක් කිරීමේ වැදගත්කම ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පෙන්වා දී තිබේ. එමෙන්ම ඉතිරි යාත්‍රා 1,100 ද තාක්ෂණික වශයෙන් දුර්වල මට්ටමක පැවතියද, ඒවායේ ආරක්ෂාව සහ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව, අමාත්‍යවරයාගේ යෝජනාව පරිදි අදාළ යාත්‍රා 1,500 සඳහාම යාත්‍රා නිරීක්ෂණ පද්ධති (VMS) සවි කිරීම අනිවාර්ය කිරීමටත්, ඒ සඳහා වැයවන සම්පූර්ණ පිරිවැය ධීවරයින් මත පටවනු වෙනුවට රජය විසින්ම දැරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

මෙම පියවර මගින් ජාත්‍යන්තර මුහුදේදී මෙරට ධීවර කර්මාන්තයට එල්ල වන විවිධ චෝදනා අවම කර ගැනීමටත්, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම්කරුවන් විසින් ධීවර යාත්‍රා අවභාවිත කිරීම වැළැක්වීමටත් හැකි වනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.

Share