31 July 2026
බස්නාහිර සහ වයඹ මුහුදු තීරය ඉතා රළු වෙයි: යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්
දිවයිනට බස්නාහිර දෙසින් අද (2026/07/31) රාත්‍රී කාලයේ සිට ඇතිවන වැසි සහිත කාලගුණ තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන්, දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇත.
මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ සහ කළුතර (බේරුවල දක්වා) වන මුහුදු ප්‍රදේශවල වෙරළාසන්නව රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස දැනුම් දෙනු ලැබේ.
විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැකි අතර, ඒ සමඟ මුහුදු රළ ඉහළ යාම කුඩා යාත්‍රාවලට දැඩි තර්ජනයක් විය හැකි බව අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්ත කහවත්ත මහතා:
“පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරය අතිශය රළු විය හැකි බැවින්, ධීවරයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගනු ලැබුවා. මේ වන විටත් මුහුදු ගොස් සිටින කුඩා සහ එක්දින ධීවර යාත්‍රා ඇත්නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙස මම ඉල්ලා සිටිනවා. රාත්‍රී කාලයේදී සුළඟේ වේගය තවදුරටත් වැඩි විය හැකි බැවින් කිසිදු හේතුවක් මත අනවශ්‍ය අවදානමක් නොගන්නා ලෙස මම සියලුම ධීවරයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.”
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ධීවර හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මගින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂාව පිළිබඳව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
Share





