28 August 2026
කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු - අමාත්‍යවරයාගේ නිරීක්ෂණය
යාපනය කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ධීවරයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ ස්ථානයේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා සිටියේය.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 205 ක මුළු පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, වර්තමානය වන විට ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් වෙමින් පැවතියද, සැලසුම් කළ කාලයට වඩා කටයුතු තරමක් ප්‍රමාද වී ඇති බව නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්හ.
ඒ අනුව, ධීවරයන්ගේ සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන, ඉතිරි කටයුතු කඩිනම් කර ඉදිරි මාස දෙක ඇතුළත සියලු වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තවද, ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ඊට අදාළ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීම ඇතුළු කරුණු පිළිබඳවද අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.
කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ධීවරයන්ගේ වෘත්තීය අවශ්‍යතා පහසු වන අතරම, ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.












