WhatsApp Image 2024 02 22 at 12.39.001එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බරංගේ මනුවෙල් මහතා ඇතුලු නියෝජිත පිරිසක් 2024.02.21 වැනි දින ධීවර අමාත්‍යංශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවිය.

එහිදි ධීවර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ ධීවර ජනතාව ජාත්‍යන්තර මට්ටමේ ධීවර ප්‍රජාවක් බවට පත්කිරීම උදෙසා FAO සංවිධානයේ ආධාර ඇතිව දැනට කෙටුම්පත් කරන ලද නව ධීවර පනත මසක් තුළ ධීවර සංවිධානවල අදහස්ද ඇතුළත් කර සම්පූර්ණයෙන් සකස් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනිමෙන් පසු වහාම ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ප්‍රකාශ කලේය. මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සදහා FAO සංවිධානය දායක වීම ගැන එම සංවිධානයට සිය ස්තූතිය පුද කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ධීවර අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරීමටත්, පසු අස්වනු හානිය අවම කිරීමටත්, අප රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කර ගැනීම සදහාත් FAO සංවිධානය ලබාදෙන ආධාර හා මැදිහත්වීම ගැන තමන් බොහෝ සේ ස්තූතිවන්ත වන බවද ප්‍රකාශ කළේය. එමෙන්ම මෙරට ජලජිවි වගාව, මුහුදු කූඩැල්ලන් වගාව, මුහුදු පාසි වැනි වගාවන් සදහා ද එම FAO සංවිධානයේ ආධාර හා උපදෙස් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විශේෂයෙන් ඉදිරි කාලයේ දී මුහුදු මත්ස්‍ය සම්පත හීන වීම සිදුවිය හැකි බැවින් කූඩුතුල මසුන් වගාකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත්, ජාත්‍යන්තර මට්ටමින් සිදුවන ක්‍රියාවක් බැවින් ශ්‍රී ලංකාව තුළද විශේෂයෙන් මෝදා මසුන් වැනි මසුන් වර්ග වගා කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද FAO සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි, ශ්‍රී ලංකාවේ සාගර සම්පත, ඉන්දියානු යාත්‍රා විසින් විනාශකාරි ලෙස සුරාගෙන යාම මෙරට ධීවරයින්ට බලවත් හානියක් බවද පෙන්වාදුන් අමාත්‍යවරයා, අපේ රට දැනට පවතින ආර්ථික ගැටළු වලින් මිදෙන තුරු අපේ ධීවරයින්ට සුරක්ෂිත ජීවිතයක් රැක ගැනිම උදෙසා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ඇති හැකියාව පිලිබඳව ද සොයා බලා උදවු උපකාර කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙහිදි FAO නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියේ, අමාත්‍යවරයාගේ ඉල්ලිම් සියල්ල පිළිබදව තම සංවිධානය සළකාබලන බවත්, ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව සහ ධීවර ජනතාව සංවර්ධනය කිරීමට සිය සංවිධානයට හැකි උපරිම ආධාර උපකාර කරන බවයි. තවද නව ධීවර පනත සකස් කිරීම උදෙසා ධීවර අමාත්‍යවරයා හා අමාත්‍යංශයේ සහ ධීවර දෙපාර්තුමේන්තුවේ  නිලධාරීන් ඉතා ඉහල වෙහෙසක් දැරු බවත්, එසේම එය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීම ගැන තම සංවිධානයට ස්තූතිය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය සහ FAO සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බරංගේ මනුවෙල් මහතා ඇතුලු නියෝජිත පිරිසක්ද ධීවර අමාත්‍යංශයේ උසස් නිලධාරින් පිරිසක් ද සහභාගි වුහ.

නවතම පුවත්

Youtube