DSC 0030මේ නව ධීවර පනත, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒම සඳහාත්, දැනට ක්‍රියාත්මක වන පනතේ අඩුපාඩු සියල්ල සංශෝධනය කර ඇති මේ පනත මෙරට ධීවර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසාත් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. 

එම කෙටුම්පත ධීවර ජනතාව වෙත ගෙන ගොස් ඔවුන් දැනුම්වත් කර ඔවුන්ගේ අදහස් ලබාගෙන ඒවා ද ඇතුළත් කර සංශෝධනය කර නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමේ ප්‍රධාන වගකීම ධීවර දිස්ත්‍රික් 15ක සිටින ධීවර සහකාර අධ්‍යක්ෂවරුන්ගේ වගකීම වන බව ද අමාත්‍ය දේවානන්දා මහතා පැවසීය.

ධීවර අමාත්‍යාංශයේදී සූම් තාක්ෂණය ඔස්සේ පැවැති ධීවර සහකාර අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේදී අමාත්‍යවරයා මේ බැව් ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ ලබන 19 වැනි දින නැවතත් සහකාර අධ්‍යක්ෂවරුන් කොළඹ දී මුණගැසී සාකච්ඡා කර මේ පනත පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි. මෙහිදී දැනට ධීවර දිස්ත්‍රික්කවල කළමනාකාර කමිටු පිහිටුවමින් දිස්ත්‍රික්ක මට්ටමේ පවතින කළමනාකරණ ගැටලු නිරාකරණය කිරීම සඳහා සකස් කර ඇති කළමනාකරණ රෙගුලාසි සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ගැණින. මේ කළමනාකරණ රෙගුලාසි සකස් කර ඇත්තේ, සංක්‍රමණික ධීවරයන් නිසා ධීවර දිස්ත්‍රික්ක ගණනාවක ධීවරයන්ට මතුවී තිබෙන ගැටලු නිරාකරණය කිරීමට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ පිළිබඳව ධීවර සහකාර අධ්‍යක්ෂවරුන්ගෙන් කරුණු විමසීය. ඒ අනුව සහකාර අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කළ කරුණු ඇතුළත් කර මේ රෙගුලාසි සකස් කරන ලෙස ද ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

උතුරු, නැඟෙනහිර මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර ආක්‍රමණය නැවැත්වීම සඳහා ගත් ක්‍රියාමාර්ග ද ඉතා දැඩිව පවත්වාගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා මෑතක දී ඔස්ට්‍රේලියාවේදී මේ පිළිබඳව අවධාරණය කරමින් ඉන්දීය මාධ්‍යවේදියකු සමඟ කරන සාකච්ඡාවේදි, ‘තම රජය ධීවර කර්මාන්තයේ ඉන්දීය ආක්‍රමණය නැවැත්වීම සඳහා ගන්නා වූ පියවර ඉතාම ප්‍රබලව ගන්නා බව’, ප්‍රකාශ කිරීම අතිශය වැදගත් කරුණක් බවද පැවසීය. තහනම් පන්න ක්‍රමවලින් මසුන් ඇල්ලීම නැවැත්වීමට හා ඩයිනමයිට් යොදාගෙන කරන මසුන් මැරීම නැවැත්වීමට ආරක්ෂක අංශ සමඟ එකතුව දැඩි තීරණ ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.‍

ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනෙවිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නවතම පුවත්

Youtube