WhatsApp Image 2024 02 06 at 16.38.33 1සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගෙන දැනට සීෂෙල්ස් හි රඳවා තිබෙන ලොරොන්සෝ පුතා – 4 ධීවර යාත්‍රාව සහ එහි සිටින ධීවරයන් ඉදිරි දෙසතිය තුළ මෙරටට ගෙන්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ ලේකම්වරිය ප්‍රමුඛ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

සීෂෙල්ස් හි සිටින එම ධීවරයින්ට අවශ්‍ය ආහාර සහ වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා ඔවුන්ට තම පෞද්ගලික මුදල් වැය කිරීමට මේ වන විට සිදුවී ඇති අතර මේ සඳහා යම් සහනයක් ලබා දෙන ලෙස ද ධීවර ඇමැතිවරයා සීෂෙල්ස් හි මෙරට තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් ද කැර ඇත.

ලොරොන්සෝ පුතා – 4 ධීවර යාත්‍රාව සහ එම ධීවරයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06 ) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේ දී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

යාත්‍රාවේ හිමිකරු මිල්රෝයි පෙරේරා පවසා සිටියේ නැවත යාත්‍රාව ශ්‍රී ලංකාවට ගෙන එම වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක ඉන්ධන වැය වන අතර එවැනි විශාල මුදලක් තමන්ට මේ මොහොතේ දැරිය නොහැකි බවයි. ඒ සඳහා අමාත්‍යාංශයෙන් යම් සහනයක් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. දැනට බෝට්ටුවේ තිබෙන මත්ස්‍ය තොග අලෙවි කර එම මුදල පියවීමට තමන්ට හැකි බවද පෙරේරා මහතා ධීවර ඇමැතිවරයාට දැනුම් දී ඇත.

මේ පිළිබඳ අවධානය යොමු කළ ඇමැති දේවානන්දා මහතා, යාත්‍රාව මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය ලබාදීමට බැංකු සමඟ සාකච්ඡා කරන බවත් දැනටමත් යාත්‍රා හිමියා බැංකු ණය මුදල් ලබා ගෙන ඇති බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ඇමැතිවරයා එහිදී අමාත්‍යාශයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාට උපදෙස් ලබා දුන්නේය.

ඒ අවස්ථාවේම බැංකු ප්‍රධානින් සමඟ සාකච්ඡා කළ මාධ්‍ය ලේකම්වරයා ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබුවේ ලොරොන්සෝ පුතා – 4 යාත්‍රාව මෙරටට ගෙන එමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම කෙරෙහි අවධානය යොමුකරන බව අදාළ රාජ්‍ය බැංකුව දැනුම් දුන් බවයි.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා, අමාත්‍යාංශ ලේකම් නයනා කුමාරි සෝමරත්න ‌මෙනවිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, ධීවර යාත්‍රාවේ හිමිකරු මිල්රෝයි පෙරේරා මහතා, ධීවරයන්ගේ ඥතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නවතම පුවත්

Youtube