Tin Fish0001

දේශීය ටින්මාළු කර්මාන්තය නංවාලීමට අවශ්‍ය සියලු සහයෝගය රජයෙන් ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. දැනටමත් විදේශීය ටින්මාළු ගෙන්වීම පාලනය කර ඇති බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන දේශීය ටින්මාළුවල තත්ත්වය උසස් කිරීමට ටින්මාළු නිෂ්පාදකයන් පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 26දා හලාවත මහවැව ප්‍රදේශයේ පිහිටි, PRF සී ෆුඩ් පෞද්ගලික සමාගම නිරීක්ෂණය කිරීමට එක්වූ අවස්ථාවේදීය.

දේශීය ටින්මාළුවල තත්ත්වය විදේශීය ටින්මාළු තත්ත්වයටම නැති බවට ටින්මාළු අපනයනකරුවන් දැනුම් දී ඇති බවත් පැවසු අමාත්‍යවරයා අවධාරණය කළේ, උසස් තත්ත්වයෙන් යුතු ටින්මාළු නිපදවීම එම නිෂ්පාදකයන්ගේ වගකීම බවයි. මේ සඳහා රජය මඟින් අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස තමන් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙන බව ද පැවසූ ධීවර අමාත්‍යවරයා දේශිය ටින්මාළුවල ප්‍රමිතිය නිසියාකාරව තිබිය යුතු බව ද පැවසීය.

දේශීය ටින්මාළු කර්මාන්තශාලා 18ක් පමණ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කර ඇති බවත්, අනුමත නොවූ කර්මාන්තශාලා ද තිබෙන බව තමන්ට දැනගන්න ලැබුණු බවත් පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ටින් මාළු කර්මාන්තය දියුණු වීමෙන් දේශීය ධීවරයාට සිය මසුන් අස්වැන්න අලෙවි කර ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධීවර අමාත්‍යාශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනෙවිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 Tin Fish06

Tin Fish01

Tin Fish50

Tin Fish07

නවතම පුවත්

Youtube