අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක
අමාත්‍ය
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාව මාතලේ දේවහූව ග්‍රාමයේදී 1968 වසරේ නොවැම්බර් මස 24 වැනි දින උපත ලැබුවේ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත් අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා-ගණිත අංශයෙන් පෙනී සිටියේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන ඔහු 1992 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයට තෝරා ගනු ලැබීය. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය දැරීම ඇතුළු විශ්වවිද්‍යාලය තුළ සමාජීය හා දේශපාලන කටයුතුවල ක්‍රියාකාරිකයෙකු වූ අනුර කුමාර දිසානායක අධ්‍යයන කටයුතු හමාර කර 1995 වසරේ දී විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය.
අනුර කුමාර දිසානායක එදා මෙදා තුර මෙරට දේශපාලන තලය තුළ බිහිවුණු ජව සම්පන්න සහ කැපී පෙනෙනම දේශපාලන නායකයා ලෙස බොහෝ දෙනා සලකන්නේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ පවුලකට අයත් නොවූවෙකු සිටිමින් සහ ප්‍රගතිශීලී හා ජනතාවාදී දේශපාලන ධාරාව තුළ විවිධ දුෂ්කරතා දරා ගනිමින් ඉදිරියට පැමිණි අයෙකු වීම නිසයි. ඔහුගේ දේශපාලන ගමන් මඟ ආරම්භ වන්නේ ඔහු පාසල් ශිෂ්‍යයෙකුව සිටි කාල වකවානුවේදියි. 1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩනැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය සපයමින් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකු බවට පත්විය.
දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක්වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදු වූ 1993 කාල වකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු විශ්වවිද්‍යාල සමයේදී කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැගීම සඳහා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළ ඔහු එවකට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම අරවින්ද නාමයෙන් සැමගේ ආදරය හා ආකර්ෂණය දිනා ගෙන සිටියේය. මෙම ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීත්වයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 1997 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරයේ වගකීම් ඔහුට පැවරිණි. අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මඟේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 වසරේදීම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තෝරා ගනු ලැබීය. ඉන් පසුව ඔහු 1998 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් කර ගනු ලැබිණි.
1999 වසරේදී පැවැති පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට ඔහු තරග වදිමින් ඔහු පළමු වරට බහුජන දේශපාලනයට ප්‍රවේශය ලබා ගත්තේය. 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මහමැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. ඉන් අනතුරුව 2001 වසරේදී දුර්වල වූ ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළකට යටත් කර ගනිමින් ආණ්ඩුව ලවා 17වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, ගොවි ණය කැපීම ඇතුළු ජනතාවාදී පියවරයන් ඉටු කර ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනු ලැබීය. නැවත 2004 වසරේදී ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. 2004 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඔහු එදා මෙදා තුර ලාංකේය දේශපාලන ඉතිහාසයේ අත් නොවිඳි විසල් ආදර්ශයක් එම අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් රටට ලබා දුන් බව පොදුවේ කාගේත් පිළිගැනීම වී තිබේ. බෙදුම්වාදය ශක්තිමත් කරන සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වීම පදනම් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ එම සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අමාත්‍යවරු සිව් දෙනාද එම ආණ්ඩුවෙන් ඉවත් වූහ. මේ අතර 2008 වසරේදී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස තෝරා ගනු ලැබිණි. නැවතත් 2010 වසරේදී ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු නැවතත් පාර්ලිමේන්තුවට පත් විය.
අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මඟේ ඉතාම තිරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස දෙවෙනි දින පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික සම්මේලනයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට තේරී වීමෙනි. ඔහුගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ ජනගත වීම වෙනුවෙන් තීරණාත්මක වැඩකොටසක් ආරම්භ විය. නැවතත් 2015 වසරේදී පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. එමෙන්ම 2015 වසරේ සිට 2018 වසරේ දෙසැම්බර් මස 14 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේද අනුර කුමාර දිසානායකයි. 2019 වසරේ අගෝස්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක් කර ගනිමින් ජාතික ජන බලවේගය නම් නැවුම් දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කෙරිණි. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් හෙම්බත් වී සිටි ජනතාව වේගයෙන් එය වටා ඒකරාශි වීම ඇරඹිණි.
2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක තියුණු තරගයක් පැවති සටන් බිමක 3.16%ක ඡන්ද ප්‍රතිශතයක් සහ ඡන්ද 418,553ක් ලැබීය. 2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඔහු නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ආර්ථික අර්බුදය හමුවේ එදා මෙදා තුර ශ්‍රී ලාංකේය දේශපාලන භුමියේ නිර්මාණය වූ අති දැවැන්තම ප්‍රගතිශිලී මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීම සඳහා ඔහු නායකත්වය ලබා දුන්නේය. ජාතික ජන බලවේගය වටා මේ රටේ ජන බලවේග ඒකරාශි කිරීම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යෙන් හා කැපවීමෙන් යුතුව කටයුතු කළ ඔහු කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, කලාකරුවන්, ගොවීන්, කම්කරුවන්, ශිෂ්‍යයින් මෙන්ම විවිධ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් දැවැන්තම මහජන ව්‍යාපාරයක් බව ජාතික ජනබලවේගය පත් කිරීම සඳහා ඉතාම තීරණාත්මක සහ ආකර්ෂණිය වැඩකොටසක් ඉටු කළේය. 2021 වසරේ දෙසැම්බර් මස 20 වැනි දින පවත්වන ලද ජාතික ජන බලවේගයේ පළමු ජාතික සමුළුවේදී ජාතික ජන බලවේගයේ නායකත්වයට පත් වන අනුර කුමාර දිසානායක ප්‍රගතීශිලී ජනී ජනයාට එක්ව වැඩකළ හැකි දැවැන්තම මහජන ව්‍යාපාරයක් බවට ජාතික ජනබලවේගය පත් කිරිම සඳහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළේය. 2024 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන්නේ මෙවැනි තත්වයක් තුළය. අර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් රටටත් ජනතාවටත් නව පුනරුදයක මාවත පෙන්වූ ඔහු රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන එන බවටද මැතිවරණයේදී ජනතාවට පොරොන්දු විය. ඔහු සතු නිවැරදි දේශපාලන දැක්ම, නිවැරදි තිරණ ගැනීමේ හැකියාව, පෞරුෂත්වය, ආකර්ෂණිය සංනිවේදන කුසලතාව සහා තියුණු කථිකත්වය, සහකම්පනය, ආදර්ශමත් බව, වෙනස් වන තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව වැනි නායකත්ව චරිත ලක්ෂණ හේතුවෙන් සුවහසක් ශ්‍රී ලංකේය ජනයාට තියුණු දේශපාලන ආශ්වාදයක් ගෙනදීමට ඔහු සමත්ව සිටින අතර ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් සනාථ වූයේ ජනතාව ඔහුගේ පණිවිඩය තේරුම් ගෙන ඇති බවයි.