ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ලොව ප්‍රමුඛතම පුණ්‍යාධාර ආයතනයක් වන ජපානයේ 'නිපොන් පදනමේ' (The Nippon Foundation / Sasakawa Foundation) ගෞරවනීය සභාපති යොහේයි සසකාවා (Mr. Yohei Sasakawa) මහතා අතර විශේෂ නිල හමුවක් පසුගිය 2 වෙනිදා ටෝකියෝ නුවරදී පැවැත්විණි.
දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස කටයුතු කරන නිපොන් පදනම හරහා මෙරට ධීවර, සාගර විද්‍යා හා සාගර සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයන්හි නිරත නිලධාරීන්ට සහ පර්යේෂකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම ලෝක සමුද්‍රීය විශ්වවිද්‍යාලය (World Maritime University) හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන උසස් අධ්‍යාපනික හා ශිෂ්‍යත්ව අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීමට සසකාවා මහතා මෙහිදී එකඟතාව පළ කළේය.
ධීවර ක්ෂේත්‍රයට අමතරව, ශ්‍රී ලංකාවේ පොදු සංවර්ධනය උදෙසා නිපොන් පදනම ඉටුකරන සුවිශාල කාර්යභාරය පිළිබඳව අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
විශේෂයෙන්ම උතුරු පළාතේ පාසල් 100ක අධ්‍යාපන කටයුතු නගා සිටුවීමට ලබාදෙන සහය මෙන්ම, මෙරටින් ලාදුරු රෝගය (Leprosy) තුරන් කිරීම සඳහා එම පදනම ලබාදුන් ඓතිහාසික දායකත්වය අමාත්‍යවරයා මෙහිදී අගය කළේය.
ශ්‍රී ලංකාව නැවත සහලින් ස්වයංපෝෂිත දේශයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය වන සුවිශේෂී කෘෂිකාර්මික ව්‍යාපෘතියකට සහය වීමේ හැකියාව පිළිබඳව ද සසකාවා මහතා මෙහිදී අමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.
යොහේයි සසකාවා මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී මෙරට අභිනවයෙන් ඉදිවූ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ද නියමිතය. ශ්‍රී ලංකාව සහ නිපොන් පදනම අතර පවතින මෙම සහයෝගීතාව වත්මන් රජය යටතේ වඩාත් විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද සහභාගී වූහ.






