en banner

JICA1ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුවට’ (Island States Ocean Summit - ISOS) සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ඉහළ පෙළේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හරා ශොහෙයි (Mr. Shohei HARA) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට එම ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ කොමෝරි ටකාෂි (Mr. Takashi KOMORI) මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. විශේෂයෙන්ම ධීවර අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ පවතින තාක්ෂණික හා යටිතල පහසුකම් පිළිබඳ අඩුපාඩු හඳුනාගැනීම සඳහා සිදුකළ ‘විශේෂ විශ්ලේෂණ වාර්තාව’ (Gap Analysis) පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. එම වාර්තාව මගින් හඳුනාගත් ප්‍රමුඛතා පදනම් කරගනිමින් නව සංවර්ධන යෝජනා සම්පාදනය කිරීම සඳහා ඉදිරියේදී ජයිකා (JICA) තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ජපාන පාර්ශවය මෙහිදී එකඟතාව පළ කළහ.

දැනට වසර ගණනාවක සිට මෙහෙයුම් කටයුතුවලදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දී ඇති කිරින්ද ධීවර වරාය පිළිබඳව මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු විය. එම වරාය ආශ්‍රිත ගැටලුවලට විද්‍යාත්මක සහ තාක්ෂණික විසඳුමක් ලබාදීම කෙරෙහි ජයිකා ආයතනය සිය දැඩි සැලකිල්ල යොමුකර ඇති බව නියෝජිත පිරිස අමාත්‍යවරයා වෙත සහතික විය.

මෑතකදී බලපෑ ‘Ditwah’ සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ධීවරයින් වෙනුවෙන් ජපාන රජය ලබාදුන් කඩිනම් සහය පිළිබඳව අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ මෙරට රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට ජපානය ලබාදුන් ඓතිහාසික දායකත්වය අමාත්‍යවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද සහභාගී වූහ.

JICA3

JICA4

JICA5

JICA6

JICA7

JICA8

JICA9

නවතම පුවත්

Youtube