en banner

Japan Research1ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ධීවර පර්යේෂණ හා අධ්‍යාපන ඒජන්සියේ (Japan Fisheries Research and Education Agency - FRA) ඉහළ පෙළේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 02 වන දින ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

ජපාන රජය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන FRA ආයතනය ශ්‍රී ලංකාව සමඟ මෙවැනි ප්‍රතිපත්තිමය මට්ටමේ සාකච්ඡාවකට එක්වූ ප්‍රථම අවස්ථාව මෙය වීම සුවිශේෂී කරුණකි. මෙම හමුව සඳහා FRA ආයතනයේ උප සභාපති හිඩේකි නිකයිඩෝ (Mr. Hideki Nikaido), උප සභාපති ෆූජි ටෙට්සුවෝ (Mr. FUJII Tetsuo) සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ රෙනා ශිබාටා (Ms. SHIBATA Rena) යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ තාක්ෂණික ප්‍රගතිය උදෙසා ඉතා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු විය:

1. *නවීන යාත්‍රා සැලසුම් නිර්මාණය:* ඉන්ධන පිරිවැය අවම කරගත හැකි (Fuel Efficiency) සහ ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල නවීන ධීවර යාත්‍රා සැලසුම් කිරීම සඳහා ජපානයේ තාක්ෂණික සහය ලබා ගැනීම.
2. *ජලජීවී වගාව සහ නිෂ්පාදන සංවර්ධනය:* ජලජීවී වගා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන (Product Development) වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පර්යේෂණ සහය ලබා ගැනීම.
3. *ජෛව තාක්ෂණික පර්යේෂණ:* සාගර සම්පත් ආශ්‍රිත ජෛව තාක්ෂණික (Biotechnology) පර්යේෂණ සඳහා දෙරටේ පර්යේෂණ ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම.

මෙම ක්ෂේත්‍රයන්හි ඒකාබද්ධ පර්යේෂණ (Joint Research) සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍යවරයා ජපාන විද්‍යාඥයින්ට සහ පර්යේෂකයන්ට මෙහිදී නිල වශයෙන් ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් පිළිබඳ සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවලියක් (Detailed Draft Proposal) කඩිනමින් ඉදිරිපත් කරන ලෙස FRA ආයතනය මෙහිදී ඉල්ලා සිටි අතර, එම යෝජනා පදනම් කරගනිමින් ඉදිරි සහයෝගීතා කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළහ.

මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද සහභාගී වූහ.

Japan Research2

Japan Research4

Japan Research6

Japan Research7

Japan Research8

Japan Research9

Japan Research10

Latest News

Youtube