26 July 2026
ආපදාවට පත්ව බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගිය මාතර ධීවරයින් දෙදෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් සෘජු මැදිහත්වීමක්
පසුගිය ජූනි 19 වැනිදා මාතර, දෙවුන්දර ධීවර වරායෙන් රැකියාව සඳහා පිටත්ව ගොස් මුහුදේදී අතුරුදන්ව සිටි ‘සොමිරැස’ (IDAY-A- 0122 KMN) යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා බංග්ලාදේශයේ චිතගොන් (Chittagong) ආශ්රිත මුහුදේ පාවෙමින් සිටියදී එරට ධීවරයින් පිරිසක් විසින් මුදාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතා සෘජු මැදිහත්වීමක් සිදු කර ඇත.
අඩි 32ක් දිගැති මෙම යාත්‍රාව මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර, එහි සිටි එක් ධීවරයෙකු වෙනත් යාත්‍රාවකින් ගොඩබිමට පැමිණියද, යාත්‍රාවේ හිමිකරු වන එස්. එච්. පියසේන මහතා (පියා) සහ එස්. එච්. චමින්ද (පුතා) යන දෙදෙනා යාත්‍රාව අත්නොහැර එහි රැඳී සිට ඇත. යාත්‍රාව තුළ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (VMS) හෝ ගොඩබිම සමඟ සන්නිවේදනය කළ හැකි HF ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීමට නාවික හා ගුවන් හමුදා සිදුකළ මෙහෙයුම් ද අසාර්ථක විය.
පවතින මුහුදු දියවැල් ස්වභාවය අනුව යාත්‍රාව පාවී යා හැකි බවට ධීවර දෙපාර්තමේන්තුව කළ නිගමනය මත තානාපති කාර්යාල දැනුවත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යාත්‍රාව බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගොස් ඇති බව තහවුරු විය. දිනක් පමණ බංග්ලාදේශ ධීවරයෙකුගේ නිවසේ රැඳී සිටි මෙම ධීවරයින් දෙදෙනා මේ වන විට බංග්ලාදේශයේ චිතගොන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක භාරයේ පසුවේ.
මෙම පුවත සැලවූ වහාම නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත දැනුම් දුන්නේ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඔවුන් කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි.
බංග්ලාදේශයේ සිකුරාදා සහ සෙනසුරාදා නිවාඩු දින බැවින් ලිපි ලේඛන සකස් කිරීමට බාධා මතු වුවද, වැඩ කරන දිනයක් වන අද (26 – ඉරිදා) සිට ඔවුන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ අනෙකුත් නීතිමය බලපත්‍ර ලබාගැනීමේ කටයුතු තානාපති කාර්යාලය හරහා ආරම්භ කර ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත ඉදිරි දින කිහිපය තුළ මෙම ධීවර පියා සහ පුතු නිරුපද්‍රිතව මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ධීවර අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
Share



