Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
14 August 2026
'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ත්‍රිකුණාමලයේ ධීවරයින්ට ධීවර බෝට්ටු 19 ක් පිරිනැමෙයි

පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ ජීවනෝපාය නැවත ගොඩනැගීමේ අරමුණින්, රුපියල් මිලියන 13.5 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ධීවර බෝට්ටු 19 ක් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (13) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දිසාපති ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතාගේ සංවිධානයෙන් පැවැති මෙම උත්සවයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී වී පීඩාවට පත් ධීවරයින් වෙත මෙම ධීවර බෝට්ටු ප්‍රදානය කළේය.

‘දිට්වා’ සුළි කුණාටුව නිසා ධීවර බෝට්ටු සහ උපකරණ අහිමි වී ජීවනෝපාය අතින් මහත් දුෂ්කරතාවලට මුහුණ දුන් ධීවරයින්ට අවශ්‍ය සහාය ලබා දීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇත. මේ ඔස්සේ පීඩාවට පත් ධීවරයින්ට නැවතත් සිය ධීවර රැකියාව ආරම්භ කර, ජීවනෝපාය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් ද සහභාගී වී ප්‍රතිලාභීන් වෙත බෝට්ටු පිරිනැමූහ.

තවද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර වරාය නිලධාරීන්, දිස්ත්‍රික් ධීවර සමිතිවල නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ධීවර ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest News