Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
11 August 2026
වත්තල පල්ලියවත්ත ධීවර ප්‍රජාවගේ දශක ගණනාවක ඉල්ලීමට විසඳුම්: නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් ක්ෂේත්‍ර නිරීක්ෂණයක් - පාරිසරික හා සාමාජීය බලපෑම් පිළිබඳ විධිමත් අධ්‍යයනයකින් පසු සංවර්ධන කටයුතු ඇරඹීමට තීරණය කෙරේ.

ගම්පහ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මතු වූ වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ ධීවරයින්ගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් සෙවීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (11) එම ප්‍රදේශයේ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පල්ලියවත්ත ප්‍රදේශයේ ධීවරයින් සිය යාත්‍රා නැංගුරම් ලෑම සඳහා විධිමත් තොටුපළක් නොමැති වීම හේතුවෙන් දශක ගණනාවක සිට දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති. මේ වන විට එම ධීවරයින් සිය යාත්‍රා හැමිල්ටන් ඇළ ආශ්‍රිතව නතර කරන අතර, ඇළෙහි පවතින අවම ගැඹුර සහ පාලම් හේතුවෙන් යාත්‍රා මෙහෙයවීම අතිශය දුෂ්කර වී ඇත. විශේෂයෙන්ම වාරකන් කාලසීමාව තුළදී මෝය කටින් මුහුදට යාමට නොහැකි වීම නිසා එම ප්‍රදේශයේ ධීවර පවුල් 750ක පමණ ජීවනෝපාය දැඩි ලෙස අඩාල වී ඇති බව මෙහිදී අනාවරණය විය.

මෙම ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ පල්ලියවත්ත ප්‍රදේශය කොළඹ වාණිජ වරායට සහ කැලණි ගඟේ ගං මෝයට අතිශය ආසන්නයෙන් පිහිටා ඇති බැවින්, මෙය පාරිසරික හා සාමාජීය වශයෙන් ඉතා සංවේදී කලාපයක් බවයි.

“ධීවරයින්ගේ ඉල්ලීම පරිදි මෙහි දියකඩනයක් සහිත නැංගුරම්පළක් ඉදිකිරීමේදී වෙරළ ඛාදනය සහ මුහුදු රළෙහි ස්වභාවය පිළිබඳව විධිමත් විද්‍යාත්මක තක්සේරුවක් අවශ්‍යයි. එබැවින් කිසිදු ප්‍රමාදයකින් තොරව මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලෙස මා නිලධාරීන්ට දැනුම් දුන්නා. දැනට පවතින කොළඹ නගර සංවර්ධන සැලැස්ම සහ වරාය සංවර්ධන සැලැස්මට ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අප සොයා බලනවා,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පල්ලියවත්ත ප්‍රදේශයේ පමණක් එක්දින ධීවර යාත්‍රා (IDAY/IMUL) 110කට අධික ප්‍රමාණයක් සහ කුඩා යාත්‍රා (OFRP/NTRB) 300කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර, මෙම නැංගුරම්පළ සංවර්ධනය කිරීම හරහා වැඩිහිටි ධීවර ප්‍රජාවට මෙන්ම ප්‍රදේශයේ තරුණ පරපුරට ද නව රැකියා අවස්ථා රැසක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ලන්සියාවත්ත ධීවර නැංගුරම්පළේ වත්මන් තත්ත්වය ද නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා, වත්තල ප්‍රාදේශීය ලේකම්තුමිය, ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයෝ ද සහභාගී වූහ.

Latest News