01 August 2026
🟥 Update 6.20 P.M. කොළඹ වරායට ඔබ්බෙන් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රා සඳහා හදිසි අනතුරු ඇඟවීමක්

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට පතිත වී පාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බැවින්, ඒ පිළිබඳව අතිශය විමසිලිමත් වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කරයි.

අදාළ බහාලුම් පතිත වී ඇත්තේ උතුරු අක්ෂාංශ 06° 54′ සහ නැගෙනහිර දේශාංශ 079° 32′ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදීය. පවතින සුළං තත්ත්වය සහ දියවැල්වල දිශාව අනුව මෙම බහාලුම් මේ වන විට හලාවත, මීගමුව සහ බේරුවල හරහා ගාල්ලට ආසන්න මුහුදු ප්‍රදේශ කරා දකුණු දෙසට පාවී යාමේ වැඩි හැකියාවක් පවතී.

මේ හේතුවෙන් කොළඹ සිට බේරුවල හරහා ගාල්ල දක්වා වූ දකුණු මුහුදු ප්‍රදේශවල රැකියාවේ නියුතු සහ ගමන් කරමින් පවතින සියලුම ධීවර යාත්‍රා මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. මෙම බහාලුම් යාත්‍රාවල ගැටීමෙන් බරපතල අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් යාත්‍රා මෙහෙයවීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙස දන්වා සිටිනු ලැබේ.

යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් (කන්ටේනර් ටැංකි) නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස සියලුම ධීවර කාර්මිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Share

Latest News