23 July 2026
බහුදින ධීවර කාර්මිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ධීවර අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්: සෑම ධීවරයෙකුටම පෞද්ගලික සෞඛ්‍ය දත්ත පොතක් සහ වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කෙරේ
බහුදින ධීවර යාත්‍රාවල දීර්ඝ කාලයක් එක දිගට මහමුහුදේ රැකියාවේ නිරත වන ධීවර කාර්මිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සහ ඔවුන් බෝ නොවන රෝගවලින් (NCD) ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර බෝ නොවන රෝග සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඉන් සැලකිය යුතු කොටසක් ධීවර කාර්මිකයන් විය හැකි බවට සෞඛ්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇත. විශේෂයෙන්ම මහමුහුදේ රැකියාව කරන අතරතුර හදිසි රෝගාබාධයක් ඇති වුවහොත් ප්‍රතිකාර ලබාගැනීමට ඇති අපහසුතාවය සහ ඔවුන් මුදවා ගැනීමේදී පවතින දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ධීවර අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන අංග කිහිපයකි:
විධිමත් වෛද්‍ය පරීක්ෂණ සහ දත්ත වාර්තා: සෑම ධීවර කාර්මිකයෙකුම රැකියාව සඳහා පිටත්ව යාමට පෙර විධිමත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම අනිවාර්ය කෙරේ. එහිදී ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත ඇතුළත් පෞද්ගලික වාර්තා පොතක් (Health Record Book) ලබා දීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ධීවරයාගේ රෝග ඉතිහාසය පිළිබඳ වාර්තා පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
සෞඛ්යාරක්ෂිත ආහාර සහ පිළිකා මර්දන උපදෙස්: ධීවර යාත්‍රාවල රැගෙන යා යුතු සෞඛ්යාරක්ෂිත ආහාර පාන පිළිබඳවත්, පිළිකාකාරක ද්‍රව්‍යවලින් වැළකී සිටිය යුතු ආකාරය පිළිබඳවත් ධීවරයන්ට විශේෂ මාර්ගෝපදේශ ලබා දෙනු ඇත.
යාත්‍රාව තුළදීම සෞඛ්‍ය පරීක්ෂාව: අධිරුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ධීවර යාත්‍රාවේදීම පරීක්ෂා කරගන්නා ආකාරය පිළිබඳව ධීවරයන්ට දැනුම ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ සෞඛ්‍ය වෛද්‍ය බලකාය වෙත ලබා දීමටත් කටයුතු කෙරේ.
ප්‍රථමාධාර පුහුණුව ශක්තිමත් කිරීම: ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් දැනට පවත්වනු ලබන ප්‍රථමාධාර පුහුණු වැඩසටහන්වලට නව උපාංග සහ තාක්ෂණය එක් කරමින් එය තවදුරටත් යාවත්කාලීන කිරීමට පියවර ගැනේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ අවධාරණය කළේය:
“මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ සෞඛ්‍ය සම්පන්න ධීවරයෙකු රැකියාව සඳහා පිටත්ව යන බව තහවුරු කර ගැනීමයි. ඒ හරහා මහමුහුදේදී සිදුවන හදිසි රෝගාබාධ නිසා ධීවර ජීවිත අනතුරේ වැටීම අවම කිරීමටත්, ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව උපරිමයෙන් සහතික කිරීමටත් අප අපේක්ෂා කරනවා.”
Share







