19 July 2026
ප්‍රතිලාභීන් 120 දෙනෙකුට මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘති සඳහා නිර්දේශ ලිපි ප්‍රදානය කෙරේ: උතුරේ ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පියවර
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් සංවිධානය කරන ලද, අක්කර 01 බැගින් වූ මුහුදු කූඩැල්ලන් වගා බිම් සඳහා නිර්දේශ ලිපි පිරිනැමීමේ විශේෂ උත්සවය යාපනය, ඌර්කාවතුරේ (කයිට්ස්) ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් ප්‍රතිලාභීන් වෙත අදාළ ලිපි පිරිනමන ලදී.
මෙම ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදක කණ්ඩායම් 20කට අයත් ප්‍රතිලාභීන් 120 දෙනෙකු වෙත මූලික බිම් අනුමැතිය සඳහා වූ නිර්දේශ ලිපි පිරිනැමිණි. මෙමඟින් අදාළ ප්‍රතිලාභීන්ට තම වගා කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන “ජලජීවී වගා කළමනාකරණ බලපත්‍රය” (Aquaculture Management Licence) ලබාගැනීමේ මාවත විවර වේ.
මෙහිදී සභාව ඇමතූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය:
“මුහුදු කූඩැල්ලන් වගාව යනු වෙරළාසන්න ප්‍රජාවට ස්ථාවර ජීවනෝපායක් සහ ඉහළ ආදායමක් උදාකර දෙන ප්‍රමුඛතම ක්ෂේත්‍රයකි. මෙය මෙරට ‘නීල ආර්ථිකය’ (Blue Economy) ශක්තිමත් කිරීමටත්, රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමටත් සුවිශාල දායකත්වයක් සපයයි. ප්‍රජා මූලික ජලජීවී වගා ව්‍යාපෘති දිවයින පුරා ව්‍යාප්ත කිරීම හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවාලීමටත්, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් අප අමාත්‍යාංශය අඛණ්ඩව කැපවී සිටී.”
මෙම අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය, ඌර්කාවතුරේ ප්‍රාදේශීය ලේකම් වනජා සෙල්වරත්නම් මහත්මිය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂ පී. නිරූපරාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ සහ NAQDA ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයෝ සහ ප්‍රතිලාභීහු විශාල පිරිසක් සහභාගී වූහ.
Share










