14 July 2026
ශ්‍රී ලංකාව සහ ටැන්සානියාවේ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීමට FAO සහ චීනයෙන් ඩොලර් මිලියන 02 ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ඇරඹේ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ චීන රජයේ “දකුණු-දකුණු සහයෝගීතා වැඩසටහන” (FAO-China South-South Cooperation) යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘතියක් පිළිබඳ පාර්ශවකරුවන්ගේ මූලික සාකච්ඡාව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

“වැඩිදියුණු කළ ජලජ ජීවීන්ගේ සෞඛ්‍ය කළමනාකරණය සහ භාවිතයන් තුළින් තිරසාර ජලජීවී වගා නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම” තේමාව කරගත් මෙම ව්‍යාපෘතිය 2027 වර්ෂයේ සිට වසර තුනක කාලයක් ක්‍රියාත්මක වීමට නියමිතය. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02ක (රුපියල් මිලියන 600කට අධික) මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ශ්‍රී ලංකාවට අමතරව ටැන්සානියාව ද මෙම සහයෝගීතා වැඩසටහනේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරයි.

මෙහිදී සමාරම්භක දේශනය පවත්වමින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා අවධාරණය කළේ, මෙරට ජලජීවී වගාව හුදු නිෂ්පාදනය වැඩි කිරීමෙන් ඔබ්බට ගොස් විද්‍යාත්මකව තහවුරු කළ සෞඛ්‍ය සම්පන්න සහ පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත්විය යුතු බවයි.

“විශේෂයෙන්ම ඉස්සන් කර්මාන්තයේදී රෝග ව්‍යාප්තිය හේතුවෙන් අතීතයේදී අප විශාල නිෂ්පාදන පාඩු සහ අපනයන අවස්ථා අහිමි කරගත්තා. එම තත්ත්වය පාලනය කිරීමට නම් විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සහ ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ රෝග වාර්තා කිරීමේ පද්ධතියක් අපට අත්‍යවශ්‍යයි. බත්තුලුඔය පිහිටි අපගේ උසස් විද්‍යාගාර පද්ධතියේ සේවය සහ තාක්ෂණික දැනුම සෘජුවම නිෂ්පාදකයින් වෙත ළඟා විය යුතුයි,” යනුවෙන් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංශ 04ක් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය:

1. ඩිජිටල්කරණය: කඩදාසි භාවිතයෙන් තොරව වගා බිම් ලියාපදිංචිය, රෝග වාර්තා කිරීම සහ නිෂ්පාදන දත්ත නිරීක්ෂණය සඳහා ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සැකසීම.
2. පූර්ව අනතුරු ඇඟවීම්: දේශගුණික විපර්යාස, ගංවතුර සහ ජලයේ ගුණාත්මකභාවය වෙනස් වීම් පිළිබඳව නිෂ්පාදකයින්ට ක්ෂණිකව තොරතුරු ලබාදෙන පද්ධතියක් ස්ථාපිත කිරීම.
3. ජෛව ආරක්ෂණය: කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට දරාගත හැකි සහ ප්‍රායෝගික වූ ජෛව ආරක්ෂණ (Biosecurity) ක්‍රමවේද හඳුන්වා දීම.
4. ජාත්‍යන්තර දැනුම හුවමාරුව: චීනය වැනි දියුණු ජලජීවී වගාවන් සහිත රටවල අත්දැකීම් සහ තාක්ෂණය මෙරට පර්යේෂකයන් සහ නිලධාරීන් අතර හුවමාරු කර ගැනීම.

මෙම අවස්ථාවට FAO මූලස්ථානයේ ධීවර හා ජලජීවී වගා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂින්හුවා යුවාන් (Dr. Xinhua Yuan), පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පශු සම්පත් දෙපාර්තමේන්තුව (DAPH), NAQDA සහ NARA ආයතනවල නිලධාරීන් මෙන්ම චීනයේ සහ FAO සංවිධානයේ ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ.

Share

Latest News