11 July 2026
මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්: ‘කූඩු ක්‍රමය’ මගින් ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය 55% දක්වා ඉහළට - මොණරාගල කිරිඉබ්බන් වැවෙන් සාර්ථක අස්වැන්නක්

අතිගරු ජනාධිපතිතුමා විසින් 2025 අයවැය මගින් මිරිදිය ඉස්සන් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියක් හරහා මෙරට මිරිදිය ඉස්සන් අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ නැංවීමට හැකි වී ඇති බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

අදාළ මූල්‍ය ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 175 ක් යාපනය චුල්ලිපුරම්හි මුහුදු කූඩැල්ලන් අභිජනනාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් වෙන් කර ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 25 ක ප්‍රතිපාදන මිරිදිය ඉස්සන් වගාව ප්‍රවර්ධනය කිරීමේ පර්යේෂණාත්මක නියමු ව්‍යාපෘතියක් සඳහා යොදවා ඇත. ඒ අනුව දිවයින පුරා ජලාශ 25 ක කූඩු ක්‍රමය තුළ ඉස්සන් වර්ධනය කර මුදාහැරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතියේ සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ මිරිදිය ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි. මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව ඉස්සන් පසුකීටයින් සෘජුවම ජලාශවලට මුදාහැරීමේදී ඔවුන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය 1% ත් 3% ත් අතර ඉතා අවම මට්ටමක පැවතුණි. එහෙත්, සීනෝර් (Cey-Nor) ආයතනය නිෂ්පාදනය කළ විශේෂ රවුම් දැල් කූඩු තුළ ඉස්සන් පැටවුන් සති හයක කාලයක් පෝෂණය කර වර්ධනය කිරීමෙන් පසුව ජලාශවලට මුදාහැරීමේ නව ක්‍රමවේදය හරහා එම ප්‍රතිශතය 40% – 55% දක්වා ඉහළ නැංවීමට හැකි වී තිබේ.

මෙම පර්යේෂණාත්මක වැඩපිළිවෙළේ තෙවන අදියර ලෙස මොණරාගල කිරිඉබ්බන් වැව ජලාශයේ කූඩු ක්‍රමය තුළ ඉස්සන් වර්ධනය කර මුදාහැරීමේ වැඩසටහන 55% ක ජීව්‍යතා ප්‍රතිශතයක් වාර්තා කරමින් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. මීට පෙර ගිරිතලේ, අක්කරායන්කුලම් සහ පුදුමුරිප්පු යන ජලාශවලින් ද මෙවැනිම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි විය. මෙම සතිය තුළ අනුරාධපුර මහකනදරාව සහ නාච්චාදූව ජලාශවලට ද මෙලෙස වර්ධනය කළ ඉස්සන් මුදාහැරීමට නියමිතය.

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) තාක්ෂණික මගපෙන්වීම යටතේ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රෑම් 300 ඉක්මවූ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු මිරිදිය ඉස්සන් අපනයන වෙළෙඳපොළට සහ දේශීය ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් වෙත සැපයීමට අපේක්ෂිතය.

උතුරු පළාත, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මොණරාගල සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක රැසක ධීවර සමිති මේ සඳහා සක්‍රීයව දායක වන අතර, මෙමගින් ධීවරයින්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් විදේශ විනිමය උපයන ප්‍රධාන මාවතක් ලෙස මිරිදිය ඉස්සන් වගාව දියුණු කිරීම රජයේ අරමුණයි.

Share

Latest News