10 July 2026
සීෂෙල්ස් හී වෙසෙන ශ්‍රී ලාංකික ධීවර ව්‍යාපාරිකයන් සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල් අතර විශේෂ හමුවක්: දශකයකට පසු සිදුවූ ඓතිහාසික මැදිහත්වීමක්

සීෂෙල්ස් (Seychelles) රාජ්‍යයේ පැවැත්වෙන සියොපා (SIOFA – Southern Indian Ocen Fisheries Agreement) සමුළුවට සහභාගී වීම සඳහා එරටට ගොස් සිටින ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ සීෂෙල්ස් හි ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව අතර විශේෂ සාකච්ඡාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

සීෂෙල්ස් හි ශ්‍රී ලංකා වැඩබලන තානාපතිනී මනීෂා පී. පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය වූ මෙම හමුව සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නුවන් ගුණවර්ධන මහතා ද එක්විය. ධීවර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු මෙවැනි සාකච්ඡාවක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වූයේ වසර දහයකට (දශකයකට) පමණ පසුව වීම මෙහි ඇති සුවිශේෂී කරුණකි.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, වර්තමාන රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය තුළ උදාවී ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය. සීෂෙල්ස් රාජ්‍යය තුළ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු සහ ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන සහයෝගය පිළිබඳව ද මෙහිදී ව්‍යාපාරිකයින් සිය අදහස් ඉදිරිපත් කළහ.

මෙම ව්‍යාපාරික ප්‍රජාව සහ ධීවර දෙපාර්තමේන්තුව අතර ගොඩනැගුණු නව සන්නිවේදන සබඳතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ඔවුන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් කඩිනමින් ලබාදීමට තානාපති කාර්යාලය හරහා මැදිහත් වීමටත් මෙහිදී එකඟතාව පළ විය. ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික හා පරිපාලනමය සහයෝගය ලබාදෙන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වැඩබලන තානාපතිනිය මෙහිදී සහතික වූහ.
මෙම හමුව හරහා සීෂෙල්ස් හි වෙසෙන ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවට සිය ව්‍යාපාරික කටයුතු වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමටත්, එමඟින් මෙරටට ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමටත් මාවත විවර වනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

Share

Latest News