2 July 2026
කළුතර දිස්ත්‍රික්කයේ ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: ධීවර වරාය හා තොටුපළ සංවර්ධනය වේගවත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස්
ධීවර පවුල්වල කාන්තාවන්ට වෘත්තීය පුහුණුව සහ විකල්ප රැකියා අවස්ථා: ධීවර සමිති වඩාත් ක්‍රියාශීලී කරමින් ක්ෂේත්‍රයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර.
කළුතර දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා වන “දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ” දෙවන සැසිවාරය ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී පානදුර, බේරුවල සහ කළුතර යන ප්‍රදේශවල ධීවර වරායන්හි පවතින අඩුපාඩු සහ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ධීවර වරාය හා තොටුපළවල් ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් ලබා දුන්නේය. විශේෂයෙන්ම ධීවර තොටුපළවල් කරා පිවිසෙන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා ධීවර සමිති හා සංවිධාන වඩාත් ක්‍රියාශීලී කළ යුතු බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන්ම ධීවර කාන්තා සමිති යළි බලගැන්වීමට කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය. ධීවර පවුල්වල කාන්තාවන් සඳහා විකල්ප රැකියා අවස්ථා සහ වෘත්තීය පුහුණුව ලබාදීමට බස්නාහිර පළාත් ධීවර අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වය ඇතිව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
මීට අමතරව, මහජන සෞඛ්‍යය පිළිබඳ සුවිශේෂී කරුණක් කෙරෙහි අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, දිස්ත්‍රික්කයේ ධීවර වරායන් තුළ කාලයක් තිස්සේ භාවිතයෙන් බැහැරව නවතා ඇති ධීවර යාත්‍රා තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දුන්නේය. ඒ අනුව, එම යාත්‍රා වහාම පිරිසිදු කිරීමට හෝ ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වරාය කළමනාකාරීත්වයට නියෝග කෙරිණි.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි, කළුතර දිසාපති, පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි මහතා මෙන්ම ධීවර දෙපාර්තමේන්තුව, NAQDA, NARA, සීනෝර් සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම ධීවර සංවිධාන නියෝජිතයෝ ද සහභාගී වූහ.
Share


