30 June 2026
ධීවර ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
උතුරු පළාතේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කෙටි කාලීන විසඳුම් නොව, ප්‍රායෝගික හා ස්ථිර විසඳුම් ලබාදීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
යාපනයේ පැවති උතුරු පළාත් ධීවර එකමුතුවේ නියෝජිතයින් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම සාකච්ඡාව උතුරු පළාත් ධීවර එකමුතුවේ උප සභාපති ඇන්ටනි ඇල්බට් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී උතුරු පළාතේ ධීවරයන් මුහුණ දෙන නීතිවිරෝධී මසුන් ඇල්ලීම, ඉන්දියානු ට්‍රෝලිං (Bottom Trawling) ක්‍රම, කරමල් දැල් ආශ්රිත ගැටලු ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම ගැටලු නියාමනය කිරීම සඳහා නව නීති කෙටුම්පත් සකස් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, එම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සංශෝධන නැවත සලකා බලා යළි යොමු කර ඇති අතර, අවසන් අනුමැතිය ලැබුණු වහාම ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
මුහුදු කූඩැල්ලන් (Sea Cucumber) වගා ව්‍යාපෘති හේතුවෙන් කුඩා පරිමාණ ධීවරයන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා–ඉන්දියානු ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ඉදිරියේදී පැවැත්වෙන බවත්, ආලෝක භාවිතයෙන් සිදුකරන නීතිවිරෝධී මසුන් ඇල්ලීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එතුමා පැවසීය.
මුහුදේදී අතුරුදන් වන ධීවරයන් සහ යාත්‍රා සම්බන්ධයෙන්ද රජය විශේෂ අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ජපාන රජයේ මූල්‍ය ආධාර යටතේ නවීන පහසුකම්වලින් සමන්විත ගලවා ගැනීමේ (Rescue) යාත්‍රා දෙකක් මෙම වසර තුළ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නියමිත බව දැනුම් දුන්නේය. එමඟින් මුහුදේ හදිසි අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර ලබාදීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු පැවසීය.
අතුරුදන් වන ධීවර යාත්‍රාවලට නවීන තාක්ෂණික නිරීක්ෂණ උපකරණ සවි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කරදිය ක්ෂේත්රයෙහි ධීවරයන් සඳහා මේ වන විට නව යාත්‍රා 138කට අධික සංඛ්‍යාවක් ලබාදී ඇති අතර, යාත්‍රා 100කට වැඩි සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ඇති බවත්, සෙසු පීඩාවට පත් ධීවරයන්ට වන්දි මුදල් හා ධීවර ආම්පන්න ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.
භූමිතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් කුඩා ධීවර යාත්‍රා සඳහා දිනකට ලීටර් 25ක් මසකට දින 25 ක්, මාස තුනක් දක්වා ලීටරයකට රුපියල් 50 බැගින් සහනාධාරයක් ලබාදෙන අතර, විශාල යාත්‍රා සඳහා දැනට ක්‍රියාත්මක සහනාධාර ක්රමයද අඛණ්ඩව පවත්වාගෙන යන බව අමාත්‍යවරයා පැවසීය.
දේශගුණික විපර්යාස හේතුවෙන් ධීවරයන්ට සිදුවන ආර්ථික හානි අවම කිරීම සඳහා විශේෂ සහන හා ආරක්ෂණ වැඩසටහන් මේ වන විට සකස් කරමින් පවතින අතර, ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
කුඩා පරිමාණ ධීවරයන්ගේ ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන ඇතැම් තාක්ෂණික ක්‍රමවේද පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සඳහා නෝර්වේ සහ ජපානයේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කියා සිටියේය.
“පසුගිය රජයන් මෙන් නොව, වත්මන් රජය ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ කර්මාන්තයේ දියුණුව ප්‍රමුඛතාවක් ලෙස සලකනවා. ධීවර ජනතාවගේ ගැටලුවලට ප්‍රායෝගික හා ස්ථිර විසඳුම් ලබාදීම සඳහා රජය අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරන බව”අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් පැවසීය.
Share

